නොදන්නා තොරතුරු බහුල නිසා පහසු නිගමනයකට එළඹෙන්නට ලීලාට නොහැකි විය.
මෙහෙකාරිය මුළුතැන්ගෙයි හිර ව සිටිය දී, අම්මා කඩමණ්ඩියට ගොස් සිටිය දී, තාත්තා ඉස්තෝප්පුවේ ඇඳි පුටුවක නිදි කිරා වැටෙද්දී, ලීලා හැකි තරම් නිහඬ බව රකිමින් ඉස්තෝප්පු කාමරයට ඇතුළු වූවාය. සංසුන් බවක් වෙනුවට ඇය තුල පැවතියේ නොයෙකුත් සිතිවිලි ගලා ආ කාලගෝට්ටියකි. දොර අඩවන් කරන්නට පෙර ඇය තාත්තා දිහා බැලුවාය. දොර අඩවන් කර ඇතුලට පියවරක් දෙකක් ගිය ලීලා ආපසු හැරී නැවත දොර විවර කර බැලුවේ තාත්තා කෙසේ දැයි කියාය. ඔහු සංසුන් ලීලාවෙන් ම පසුවෙයි.
දොර මඳක් විවෘතව තබන්නට ඇය ගත් උත්සාහය අසාර්ථක විය. අමුතු පණක් ලැබුණක් මෙන් එය ඇරී නොව වැසී ම ඉන්නට වෙර දරනා ලෙස ඇයට දැනුණි. තාත්තා ඉස්තෝප්පුවේ තනිව තබා සිටීම තම වගකීම පැහැර හැරීමක් බව ලීලා දත්තාය. ඇය මේසය උඩ තිබි පොත් හා සඟරා ගොඩවල් අතරින් උඩින් ම තිබි පොතක් රැගෙන ඉස්තෝප්පුවට ගොස් එහි පිටු පෙරලා බලන්නට තීරණය කළාය.
පොතත් රැගෙන ඉස්තෝප්පු කාමරයෙන් පිටවෙන්නට ගිය ඇය දොරට අත තබනවාත් සමඟ පොත ලිස්සා තඩස් ගා බිමට වැටිණ. වහාම දොර හැරිය ඇය සද්දයෙන් තාත්තා කලබල වී ඇත්දැයි බැලුවාය. නැත. ඔහු සංසුන් නින්දේ ය. දොර හැරී තිබිය දී පොත අහුලා ගත් ඇය කකුලක් එළියට තබන්නට පෙර දොර වැසුනේ ඇයගේ පස්ස බිම ඉන්ඳවමිනි. පොත අතේ තිබිය දී දොර හරින්නට නොහැකි බව ඇයට පසක් විය. පොත් පත් සඟරා සියල්ල කියැවිය යුත්තේ මෙහි ඇතුලත සිටිය දී ම බව දැන් ලීලාට පැහැදිලියි.
එහෙත් තාත්තා ඉස්තෝප්පුවේ තනිවම තබා මෙතැනට වී සිටීමට ඇය අකමැති හෙයින් ඇය පොත ආපහු මේසය උඩින් තැබුවාය. එහෙත් ඇය ඒ පොත තැබුවේ ගත් තැනින් නෙමෙයි. වෙන තැනකින් ය. කඩිමුඩියේ ඉස්තෝප්පු කාමරයෙන් පිට වී යන්නට අවශ්‍ය වූ ලීලාට ඒ බව නිච්චියක් නොමැති විය. කිසිවක් අත නැතිව ඇය මෙවර දොරේ අගුලට අත තබද්දී ම එය වහාම හැරිණ. ඇය තාත්තා ළඟට දිව ගොස් ඔහු පහසු රිද්මයකින් හුස්ම ඉහළ පහළ දමමින් සුවපහසු නින්දේ පසුවන ආකාරය දිහා බලා සැනසුම් සුසුමක් හෙළුවාය.
තාත්තා ගොඩගත හැකි නිවැරදි මාර්ගයට පිවිසීම සඳහා කුමක් හෝ වහාම කළ යුතුය.
එහෙත් ඒ කළ යුත්ත කුමක් දැයි කියා දැනගන්නේ කෙසේ ද?
ඒ තොරතුරු ලබාගත හැකි මාර්ගය පැහැදිලි නැත.
ඒ තොරතුරු ලබාගත හැකි ස්ථානය යැයි තමන් සිතන්නේ රැඳී සිටීම පහසු නැත.
එය නිවැරදි ක්‍රමය නොවේ නම් එයින් ලැබෙන අනිසි විපාක මොනවා දැයි විමසන්නට කෙනෙක් නැත.
නමුත් නිවැරදි වූව වහාම කළ යුතුය.