තාත්තාට හැදුනේ හෘදයාබාධයක් නෙමෙයි යැයි දොස්තරවරු කියන ලදි.
රෝගය කුමක් දැයි සොයන්නට පරීක්ෂණ ගණනාවක් පැවැත් වු නමුත් එය කුමක් දැයි ඔවුනට සොයාගත නොහැකි විය. ඉස්පිරිතාලයට සති දෙක තුනක් පුරා උදේ හවා දිව්වේ අම්මා ය. ඇයගේ තනියට මෙහෙකාරියත් ලීලාත් වරින් වර ගියහ. තාත්තාට ගෙනගිය කෑම පැකට් වලින් කටවල් කිහිපයක් ඔහුට ගිලින්නට හැකි වූයේ මීට දවස් දෙක තුනකට පෙර සිහිලත් පසු ය. එහෙත් ඔහු අම්මාව හෝ අම්මා සමඟ ගිය ලීලා කවුදැයි හඳුනාගත්තේ නැත. කිසිදු වදනක් දෙඩුවේ ද නැත.
තාත්තාගේ පවුලේ ඥාතීන් කිහිප දෙනෙක් අද ගෙදරට ඇවිත් සිටින්නේ ඔහු ඉස්පිරිතාලයේ සිට ගෙදර එන නිසා ය. තාත්තාගේ මල්ලිලා දෙන්නෙක් අම්මා සමඟ ඔහු කැටුව එන්නට ගොසින්. මල්ලිලාගේ භාර්යාවන් දෙදෙනා මෙහෙකාරිය සමඟ මුළුතැන්ගෙයි සියල්ලන් වෙනුවෙන් ආහාර පිළියෙල කරති. තාත්තා අසනීප වූ දවසේ සිට දවස පුරා කිසිදා නොකළ ගෙදර වැඩ කටයුතු වලට සහාය වෙන්නට සිද්ධ වූ ලීලාට යාන්තමින් ඉස්පාසුවක් ලැබුනේ අද ය.
ඇය දවසේ තෙවැනි වතාවටත් දෙමව්පියන්ගේ නිදන කාමරයේ පිරිසිදු තුවා යනාදිය පිළිවෙලකට ඇත්දැයි සොයා බැලුවාය. ඉස්තෝප්පුව හා මැද සාලය අතුගා ඇත්දැයි සොයා බැලුවාය. ගෙදරට එන අඩිපාර හෙළි පෙහෙළි කර ඇත්දැයි බලන්නට වත්තට බැස්ස ලීලා නොදැනුවත්ව ම ඇයගේ පා ගමන් කළේ ගේට්ටුව පැත්තට නොව අඩිපාරේ තාත්තා හා ගිය නිවසෙන් පසෙක වූ පැත්තටයි.
කඩා වැටි ගස තවමත් එතැන ය. බතල වැල් යටින් දළු ලා ඇවිත් ගස වට කරගෙන වැවී ඇතත් එහි ඵලදාව හොයන්නට ගස් ඉවත් නොකර කළ නොහැකියි. ධාරාණිපාත වැස්ස, කඩා වැටුණු ගස, මඩ ගොහොරුවෙන් සොයා ගත් මුද්ද හා තාත්තා ගිලන් වීම සමඟින් තමන් ලද අත්දැකීම් කුමන හෝ ආකාරයකින් බැඳී ඇතැයි ලීලාට සිතේ. තාත්තා රෝහල් ගත වූ දා සිට ලීලාට ඉස්තෝප්පු කාමරයට යන්න ඉඩකඩක් තබා මේවා ගැන සිතන්නට වත් ඉඩකඩක් නොලැබුණි. ඒත් කුමන හෝ සම්බන්ධයක් ඇත්නම් එය පහදා ගත් කළ තාත්තාට සුවය ලැබෙන්නට යමක් තමනට කරනු හැකි දැයි ලීලා කල්පනා කළාය.
උත්තර ඇත්තේ ඉස්තෝප්පු කාමරයේ විස්කම් පානා අබරණ වල විය නොහැකියි. ඒවා පැළඳ ගත් බැවින් තමන් ගිය තැන් යළි සිහි කළ ලීලාට ඒ සියල්ලේ දී තමා වටපිටාව නොදත්, වෙන්නේ කුමක් දැයි නොදත් අයෙක් වූ බව මතක් වුණි. මුද්ද හමු වූ දවසේ රෑ කෑම කද්දී තාත්තා ඉතා සතුටින් සිටියේ ඔහු එය පැළඳ ගෙන කොහේ හෝ ගිහින් ආපු නිසා ද? එය දාගත්තාම තමන් වරෙක ගියේ එක තැනකටත් ඊ ළඟ වර ගියේ තව තැනකටත් වූයේ මන්ද? තාත්තා ගියේ තමන් ගිය තැන් වලට ද, නැත්නම් තෙවැනි තැනකට ද? තාත්තා කාමරයට ඇතුල් වෙනවාත් සමඟ මුද්ද දාගත්ත නිසා ද, නැත්නම් වැඩි කාලයක් ඉක්ම යන්නට මත්තෙන් මුද්ද කිහිප වතාවක් පාවිච්චි කළ නිසා ද තාත්තා ගිලන් වූයේ? ඇයි එහෙනම් තාත්තා ගිලන් වූයේ, අන්තිමට මුද්ද පැළඳි ලීලාට කරදරයක් නොවී?
කාගෙන් අහන්න ද?
Like “Naniya” Stories.
Comment විසින් dhammika — අගෝස්තු 29, 2012 @ 12:35 පෙ.ව.
dhammika,
ඔයා කියන්නෙ Narniya ගැන නේද?
Robert Epstein කියන්නේ සියළු අලුත් අදහස් වලට මූලික වෙලා තියෙන්නේ කළින් තිබිච්ච දැනුම බවයි.
දකුණත තියෙන “බ්‍යාමප්‍රභාව” නවකතාව “කියවන අයටත් සමහර විට ඒ හා සමානව ලියවුන පොත් කියවන්න ඉඩ ලැබේවි. මොකද ෆොස්ට කියන විදියට හැම පොතක්ම කොයි තරම් මනඃකල්පිත වුවත්, කොයිතරම් නිර්මාණශීලී වුවත්, කොයිතරම් සම්භව්‍ය වුවත්, එහි කලින් ලියපු පොත්පත්, සුරංගනා කතා ආදියේ තේමා, ශෛලියන්, පටලැවිලි දිවෙනවා. සමහර විට Taboo කියන Sisterhood of the Travelling Pants වලට වඩා අයිරිශ් ජාතික මේව් බින්චි -Maeve Binchy- ලියපු Circle of Friends පොතට මගේ පොත සමාන වෙනවා යයි කියන්න පුළුවන්. මොකද Sisterhood of the Travelling Pants වල රටේ තත්වය හෝ කතා චරිත වල අනාගත විකාශයක් නැති වුනාට Circle of Friends එකේ අයර්ලන්තයේ සමාජ විපර්යාසය කතාවට ඇතුල් වෙලා තියෙන නිසා. ඒ වගේම The Divine Secrets of the Ya-Ya Sisterhood පොතත් වැනි පොත් රාශියක් මගේ ප්‍රබන්ධය හා සමානව දිවෙනවා.”
ගිල්ගමේෂ් නම් වසර හාරදහසකට මුලින් තිබිච්ච මිනිසාගේ මුල් ම සාහිත්‍යයේ ද දිවෙන්නෙ යම් ගවේෂණයක් (quest) ගැන කතන්දරයක්.
ඕනෑම කතාවක් ගත්තම හොයලා බලන්න ගවේෂකයා, යන්නට තැනක්, එහි යන්නට අවශයයි කියන හේතුව, ඒ ගමනේ දී අත් විඳින්නට සිද්ධ වෙන අභියෝග සහ පසුබෑම්, ඒ ගමන යන සත්ය්ය හේතුව යනාදිය ගැන.
බහුතර කතන්දර වල දිවෙන්නේ එම සැකිල්ල තමා.
Comment විසින් sinhalashortstories — අගෝස්තු 29, 2012 @ 1:25 ප.ව.