ඉස්තෝප්පු කාමරයේ පොත් රාක්කයක් අසල ලීලා හිටගෙන.
තමන් ආපහු ඇවිත් ඉන්නා බවත් තාත්තා එහි නැති බවත් දැකි ලීලාගේ හිතට දැනුනේ සහනයක්. ඒත් ගේ ඇතුලතින් ගලා ආ කලබල සද්ද රාශිය නිසා ඇය කාමරයෙන් එළියට යෑමට මඳක් පසුබට වූවාය.
අල්ල දිග හැර මුද්ද එහි ඇතැයි දැකි ලීලා වහාම එය නැවතත් සිමෙන්ති පොළවේ කුහරයේ වූ ලී පෙට්ටියට මුද්ද දමා එහි පියන වසා ලෑලී තීරුව ද ඉක්මණින් වසා දැමුවාය. ඇය දොර වෙත ගොස් තම නම කියැවෙනවා දැයි මඳක් සවන් දී සිටියාය. ඉස්තෝප්පුවේ නොව කලබැගෑනිය ඇහෙන්නේ නිදන කාමර පැත්තෙනි. තමා නිදි යහනේ නැති බව දැනගත්තා නම් ඔවුන් තම නම කියමින් හඬ ගාන්නේ නැත්තේ ඇයි? ඇය වහාම දොර හැර එළියට පැනගෙන දොර යළිත් තිබි හැටියටම වසා දැම්මා ය.
“නෝනා, ටැක්සියක් එක්කන් ආවා.” හති දමමින් කොහේ දෝ සිට දිව ආ මෙහෙකාරිය දෙමව්පියන්ගේ නිදන කාමරයේ දොර අසලින් හිටගෙන කියන්නීය.
ලීලා මෙහෙකාරිය දිහා බැලුවත් ඇය ලීලා දිහා බැලුවේ නැත. ඇය ඇතුලතින් එන පණිවුඩයට සවන් දී සිටින්නීය.
“ලීලාව නැඟිට්ටවලා එවන්න ඇතුලට,” අම්මා කියයි.
“මේ නැඟිටලා ඉන්නෙ නෝනා,” මෙහෙකාරිය කිව්වේ ලීලා දිහා නොබලාම.
ලීලා දොර පියනක් සෙමෙන් ඇර ඇතුලට ඔළුව එබුවාය. තාත්තා නිදි යහනේ දිගා වී සිටියි. ඔහුගේ මුහුණ මැළ වී ඇස් පියැ වී ඇත. අම්මා දොරට පිටුපා කඩිමුඩියේ සාරියක් පටලවා ගනිමින් සිටින්නීය. කාමරයේ බිම විසිර ඇත්තේ තාත්තා උදේ වැඩට අඳින්නට ඇඳේ අතුරා තිබූ ඇඳුම්, අම්මා රෑට නිදන්නට හැඳි ඇඳුම් හා තාත්තා වැඩට ගෙනියන හම් බෑගයෙන් එළියට විසි වී ඇති ලිපි ගොණුය. ඇඳේ වැතිර නිසොල්මන්ව ඉන්නා තාත්තා දිහා බලාගෙන ඇතුලට පිවිසි ලීලා තව පොඩ්ඩෙන් තාත්තාගේ සපත්තු කුට්ටමේ කකුල් පටලවා ගෙන බිමට ඇද වැටෙන්නේ ය.
“මොකක් ද වුනේ?” ලීලා ඇසුවාය.
“විගහට ගිහින් ගවුමක් දාගන්න ඉස්පිරිතාලෙට යන්න.” අම්මා ඇය දෙස නොබලාම කීවාය.
ලීලා පසුපසින් වැටි මෙහෙකාරිය ඇය හා නිදන කාමරයට ඇතුල් වී වෙව්ලන අත් වලින් ඇඳුම් මාරු කරන්නට ලීලාට සහාය වූයේ අම්මා ගෙන් ලැබුණු අණක් නිසා නම් නෙමෙයි.
“ඔයාලැයි තාත්තාට පපුවේ අමාරුවක් ද කොහෙද … ඉස්තෝප්පුවේ ඉඳලා බිත්ති අත ගගා කාමරයට යනවා දැක්කෙ .. මුකුත් කිව්වෙ නැහැ … මම ඒක දැකලා නෝනාට කිව්වා .. හොඳ වේලාවට නෝනා කාමරයට දිව්වෙ. නැත්නම් බිමටයි වැටෙන්නෙ,” මෙහෙකාරිය කියාගෙන යන්නීය.
“කොච්චර වෙලා ද?”
“බේබි, ඉස්තෝප්පුවෙ ඉඳන් කාමරේට යන්න එච්චර වෙලා යනවැයි?”
“නෑ මම ඇහැව්වෙ, තාත්තා ඉස්තෝප්පුවේ ඉඳන් කාමරයට ගියාට පස්සෙ දැන් කොච්චර වෙලා ගිහින් ද?”
“බේබි මේ මොනවා අහනවා ද මන්ද, මේ දැන් මේ මිනිත්තුවකට කලින් නෙ වුනේ. නෝනා දිව්වට පස්සෙ මම බේබි ගේ කාමරේට ඔළුව දාලා බලන කොට බේබිත් නෑ ..” ඇය නෝක්කාඩු කියමින් ලීලාගේ සෙරෙප්පු කුට්ටමක් ඇය අත තිබ්බේ ඉක්මණින් යන්න යැයි ලීලාව දොර වෙත තල්ලු කරමිනි.
තාත්තාව වත්තන් කරගෙන ටැක්සියේ වාඩි කරවා ගන්නට ටැක්සි රියැදුරා, අම්මා හා මෙහෙකාරිය සමත් වූහ. ලීලා ටැක්සියේ ඉදිරිපස ආසනයේ අසුන් ගත්තේ සලිත සිත තමන් කුමක් හෝ වරදක් කළා දැයි විමසන්නට පටන් ගනිද්දී ය.
ඇය මුද්ද මහපටැඟිල්ලේ දා ගත්තේ තාත්තා ඉස්තෝප්පු කාමරයේ දොර හරින්නට තැත් කරද්දී ය. ක්ෂණයෙන් ඇය එතැනින් නික්ම වී ගිය හෙයින් තාත්තා කාමරයට ඇතුල් වූවා දැයි ලීලා නොදනී. මහේශාක්‍ය ෂටෝනි ඒ කොහේ දෝ සීතල රටක දුම්රිය ස්ථානයක පැවැත් වූ කතාව කිසිසේත්ම තත්පර කිහිපයක කතාවක් නොවීය. අනික ඊට කළින් කෝච්චි දෙකක් එන්නයි අර අනිත් මිනිස්සු එක්ක කතා කරන්නයි කොච්චර වෙලාවක් ගියා ද? එම අත්දැකීම සිහිනයක් බඳු වුවත්, වැඩට යන පාසැල් යන උදෑසන තදබදයේ ඉස්පිරිතාලය කරා යන මේ ගමන නම් සිහිනයක් නොවන බව ලීලාට නිසැකය.