“මම උඹලාට අණ කරනවා … මම කියනවා වෙනතක යන්න කියලා .. ආපහු ඔබලා ආපු මැදිරිවලට නඟින්න කියලා,” ලුතිනන්වරයා හඬ ගෑය.
“කට වහපන් නාකියා!” යැයි සොල්දාදුවෙක් පරුෂ ලෙසින් බැන වැදිණ.
“අපි උඹවත් මේ ගොඩට දාලා මිලිටරි අධිකරණයක් තියනවා,” යැයි තවකෙක් කෑ ගැසීය.
ලුතිනන්වරයා පසු බැස්සේ ය. ඔහු සෙමෙන් පදිකවේදිකාවෙන් ඉවත් වී ගියේය.
“එයා ද මහේශාක්‍ය ෂටෝනි?” ලීලා විමසුවේ මුවේ දත් නැති කාන්තාව ගෙනි.
ඇය ලීලා වෙත පෑවේ උඹට පිස්සු දැයි අහන බැල්මකි.
“මහේශාක්‍ය ෂටෝනි ඇවිත් මේක විසඳාවි, මේ නාකි ගෑණිට ආයේ පාරක් එයාව දැකගන්න ආස හිතිලා ද කොහෙද. මේ වගේ වෙලාවක අනිවාර්යෙන් ම ස්ටේෂන් මාස්ටර් කැඳවන්නෙ ෂටෝනිව.” සූර්යකාන්ත මල් ඇට සපමින් සිටි මිනිසා කීවේය. “කවදාවත් දැකලා නැහැ වගේ කතාකරන්නේ ඇයි?”
හැඩරුවක් හිතට නැඟේවි දැයි ලීලා මොහොතක් ඇස් පියා බැලුවාය. නැත. ඈතකින් අශ්ව කුර රාශියක් වැදෙමින් පොළව දෙදරන්නට මෙන් සෙලවිණ. අශ්වාරෝහකයන් දොළොස් දෙනෙක් ඉදිරියෙන් එති. තවත් අශ්වාරෝහකයන් දොළොස් දෙනෙක් පසුපසින් එති. ඒ මැද්දෙන් විවෘත වූ අශ්ව කරත්තයක හිටගෙන ගමන් කළේ කඩවසම් කමාන්ඩාන්ට්වරයා ය. ඔහු මහේශාක්‍ය ෂටෝනි බවට ලීලාට කිසිම සැකයක් නැත.
ඔහු අශ්ව කරත්තයෙන් පැන ගොඩ ගසා තිබූ බඩු පෙට්ටි ගොඩක් මතට දුව ගොස් නැඟ ගත්තේ වයසට වඩා ජවයක් පෙන්වමිනි. මුවේ දත් නැති කාන්තාවගේ මුහුණ ප්‍රීතියෙන් උද්දාම වී ඇත. ඇයගේ දැලි පිරිච්ච ඇඟිලි තුඩු වලින් යුත් දෑත් එකිනෙකට තෙරපී ඇත.
“සොල්දාදුවෙනි, මා වෙත එන්න!” ඔහු හඬ ගෑය.
සොල්දාදුවන් මඳක් අදිමදි කළහ. ඉක්බිතිව හෙමින් හෙමින් එකා දෙන්නා දිළිසෙන බයිනේත්තු උරුක් කරගෙන ම ඉදිරියට ආහ. ලීලා ද ඒ පැත්තට සෙමෙන් ඇදුනේ මහපටැඟිල්ලේ වූ මුද්ද අතින් තදකර අල්ලා ගනිමිනි.
ෂටෝනි තමා වටා රැස් වී සිටි සොල්දාදුවන් සියල්ලන් ගේ ම මුහුණු පිරික්සා බැලුවේය. ඔවුන් සැවොගේ ම මුහුණු අපේක්ෂාවෙන් පිරී යද්දී ඔහු සිය කටහඬ අවදි කළේය. “අවිගත් සහෝදරවරුනි, මට සවන් දෙන්න. මම තමයි විප්ලවවාදී ජනතාවගේ කැමැත්තෙන් තේරී පත් වූ යෙරෙවාන් නගරයේ කමාන්ඩාන්ට්වරයා. මම තමයි ෂටෝනි.”
ඔහු එය කියා අවසන් වූ පසු පැතිර ගියේ දැඩි නිහැඬියාවකි. ලීලාට මෙන් ඒ සොල්දාදුවන් සියල්ලන්ට ම ඒ නමේ කිසිම වැදගත්කමක් නොවීය. ලීලා මෙන් ම ඔවුන් කිසිවෙක් ෂටෝනි කවුදැයි දැන නොසිටියහ.
අකමැති දර්ශනයක් දකින්නට වේ යැයි සිතුණු හෙයින් ලීලා මුද්ද බිමට වැටී පෙරළී නොයන්නට, එය හෙමිහිට මහපටැඟිල්ලෙන් ඉවත් කරන්නට අත්වැසුම මෙවර ගලවන්නට පටන් ගත්තේ ඉතා ප්‍රවේසමෙන්.
ෂටෝනි නිල ඇඳුමේ රත්තරන් බොත්තම් ගැල වී විසි වී යන ලෙසින් එය අත් දෙකින් ම උදුරා ඉවත් කළේ ලීලා ඇතුළු රැස් වී සිටි සියල්ලන්ව ම තක්බීරි කරමින්.
“මගේ පපුවට ගල් ගහන්න! ඔබේ කෝපයේ බැමි ලිහා දමන්න! … ” මහේෂාක්‍ය ෂටෝනි පටන් ගත්තේ ඔහු සැමදා රඟන්නට ප්‍රිය කරන ලද නාට්‍ය්‍යකි. ඔහු දිගින් දිගට ම රංගනයේ යෙදුනේ ලීලාවත්, සොල්දාදුවන් හා දුම්රිය ස්ථානයේ සිටි අනෙක් සියල්ලන්වත් වශී කරවමිනි. ඒ ඔවුන් සියල්ලන් ම තම ජීවිතයන් හි දැක ඇති වඩාත් ම අනගි වූ රංගනයයි.
ෂටෝනිගේ ඇස් කොණක් වෙනතක යනවා ලීලා දුටුවාය. ඒ දිහා බලද්දී හමුදා නිලධාරීන් හැටදෙනා රැගත් මැදිරිය තිබි දුම්රිය හෙමින් හෙමින් දුම්රිය නැවතුම් පොළෙන් පිටත් වී යන බව ලීලා දුටුවාය. ඇය එය දැකි බව දුටු ෂටෝනි රංගනය මැද ඇය වෙත ඇසක් ගසා ඒ රහසට ඇයවත් හවුල්කාරයෙක් කරගත්තේ ය. ඔහුගේ රංගනයේ අවසන් වාක්‍යය නිමා වෙද්දී පිටත් වී ගිය දුම්රිය ක්ෂිතිජය අසල දුම් පොඩ්ඩක් මෙන් පෙනිණ.
දැවැන්ත අත්පොළසන් නාදයක් පදිකවේදිකාව පුරා පැතිර ගියේය. පපුවට අත් දෙක තබාගත් ෂටෝනි ඇද වැටුනේය. සොල්දාදුවන් කලබලයෙන් ඔහු වෙත ගොස් ඔහු වත්තන් කරගති. මුවේ දත් නැති කාන්තාවගේ තවත් ප්‍රීතියෙන් පිරී යන්නට ඉඩක් නොතිබුණ මුහුණ කෙසේ හෝ තවත් උද්දාමයෙන් පිරී ගියේය. ලීලා අනිත් මිනිසා දෙස බැලුවේ මේ රහසට තමාව හවුල් කරගන්නවා දැයි අසන්නට මෙනි.
“වතුර වීදුරුවක් බිව්වාම එයාගෙ පපුවේ අමාරුව නැතිවෙලා යනවා,” සූර්යකාන්ත මල් ඇටයක පොත්ත මුවින් විසි කරමින් හේ කීවේය.
ෂටෝනි වතුර ඉල්ලීය. සොල්දාදුවන් කිහිප දෙනෙක් ලීලා අසලින් දිව ගියේ වතුර ගෙනෙන්නට ය. ඔවුන් දිව යද්දී ලීලා හනිකට පැත්තකට අයින් වූවාය. ඇය අතින් අල්ලා ගෙන තිබූ මුද්ද ගැල වී ඇයගේ අල්ලට වැටුණි.
****
Rouben Mamoulian ලියූ Shatouni The Magnificent කතන්දරයේ පසුබිම වෙයි.