“ලා, මිනිහෝ!”
කවුදෝ කාන්තාවක් පහත් හඬින් කියනවා ඔවුනට ඇසිණ. “ඔයාගෙ පෙට්ටියේ හොඳට සැතපිලා ඉන්න අර ප්‍රංශ පඹයාට පස්ස හරවන්න හැකි තරම් ඔයා තාමත් තරුණයි.”
“පුළුවන් නම් කරන්න මම කැමතියි. ඒත් ගෞරවනීය ආර්යාව මතක් කරගන්න ඕනා අපි අපේ රටට සේවයක් කරද්දි පුද්ගලික කෝන්තර පැත්තකට දාන්න.”
ආර්යාව මොකක්දෝ මාළු කතාවක් කියනා හඬ ලීලාටත් ලීලාගේ අක්කාගේත් සවනට වැටිණ. අක්කාගේ මුවේ සිනාවක් පැතිර ගියේය. ඒ අර පුහුණු කරගත්තා වූ සිනාව නොව නිරායාසයෙන් නැඟුනක් බව ලීලාට පෙනුණි.
කතාබහ සද්දය වෙනුවට කසු කුසුවක් සභාවේ පැතිර ගියේ තිරය ඇරෙන්නට පටන් ගන්නවාත් සමඟිනි. වේදිකව ඉදිරියෙන් සිටි සැවොම දෙපැත්තට ඇදෙන තිරය දිහා බලද්දී තවත් පැත්තක සමූහයක් බලා සිටියේ රතු කැරලි කොණ්ඩයෙන් යුතු ඉතා රූමත් කාන්තාවක් පිරිමියෙකුගේ අතේ එල්ලී බැල්කනියකට පිවිසීම දිහා ය.
රිබන් පටියක් එතූ රෝල් කරන ලද කරදහියක් ලීලා අතේ වැදිණ. ඇගේ අක්කා ඇයට ඇස් වලින් ඉඟි කළේ ඒ ශාලාවට ඇතුල් වු රූමත් ප්‍රභූ කාන්තාවයි.
“ඇයි?”
“ලිලි මට ලොකු උදව්වක් කරන්න, අනේ කරුණාකරලා. මේක ගිහින් මාගරීට්ට දෙන්න, හොඳ ළමයා වගේ. මම ඔයාට මගේ සායම් පෙට්ටිය දෙන්නම් එක දවසක් පුරා ම පාට කරන්න.” ඇයගේ මුහුණේ වූයේ බැරෑරුම් බවකි. බියකි. ආයාචනයකි.
ලීලා පණිවිඩ රෝල අතට ගත්තා ය. විල්ලුද පුටුවෙන් නැඟිට ඇය පුටුවල අසුන්ගත් හා බිත්තිවලට තෙරපී සිටිනා සෙනඟ අතරින් ඉතා අමාරුවෙන් ඒ රූමත් කාන්තාව අසලට යන්න සමත් වූවාය. මාගරීට්ගේ සුන්දර දිගු බෙල්ල අග විසල් කළු පීත්ත පටියකින් බෝ එකක් බැඳ තිබුණි. ඒ අසලට නැවුණු ලීලා “මේක ඔයාට දෙන්න කිව්වා,” යැයි කියමින් පණිවිඩය ඇයගේ උරහිස ළඟින් පෙන්වීය. මාගරීට් එය ගත්තේ ලීලා දිහා නොබලා එය කළින් කතා කරගත් හුවමාරුවක් ලෙසිනි.
ආපසු අසුන සොයා එන ලීලාට රඟහලේ සිටින සියල්ලන් ම සුදු හමින් යුතු අය බව පෙනින. ඇය හැම අත බැලුවේ වෙනස් පාටක හමක් සොයන්නට ය. එහෙත් කිසිවෙක් සිටියේ නැත. තමාගේ පාට ඔවුන්ගේ පාටින් කොතරම් වෙනස් දැයි බලන්නට ඇය සිය දිගු අත් රැළි වාටිය යටින් වූ අත්වැසුම මෑත් කරන්නට අත්වැසුම පැළඳි වම් අතෙන් උත්සාහ කළාය. කවුදෝ කෙනෙක් බිත්තියෙන් මෑත් වී ඇය ගමන් කළ මඟ හරස් කළේය. ලීලා ඔහුගේ ඇඟේ වැදුනෙන්, අත්වැසුම ඉවත්වෙද්දී හරි හැටියකට මහපටැඟිල්ලේ නොරැඳුන මුද්ද ගැල වී පුටු අස්සෙන් පෙරලී ගියේය.
****
Emmuska Orczy ලියූ The Scarlet Pimpernal කතන්දරයේ පසුබිමයි.