ලීලා ඉස්තෝප්පු කාමරයේ දොර හැර ඇතුලට වැදී දොර පියන් අඩවන් කළේ ඇයට කිසිත් දවසක කිසිවකට නොතිබි කඩිමුඩියකින්.
මහ රූ අවදි වූ ඇයට තාත්තාගේ ගෙරවිල්ලත්, එහෙන් මෙහෙන් නිශාචර සත්වයන් හඬනා සද්දත් මිසක අවදියෙන් ඉන්නා අයෙකු ගේ හඬක් ඇසුනේ නැත. දහවල් කාලයේ අවස්ථාවක් ලැබෙන තෙක් කල් ගෙවීමට වඩා මෙසේ සොයා බැලීම සුදුසු යැයි නින්දෙන් අවදි වූ ගමන් ඉතා පැහැදිලි සේ ඇයට පසක් විය.
වේවැල් බොකු ගැසුණු පුටුව එසේම තිබිය දී ඇය දණ ගසා සිමෙන්ති පොළවේ වූ ලෑලි තීරුව කළුවරේම අත ගා ඉවත් කළාය. ඉන්පසුව එහි කුහරයේ වූ පැරණි පෙට්ටියේ පියන හැරියාය. තාත්තා වත්තෙන් අහුලා ගත් මුද්ද එහි උඩින් ම තිබුණි. තාත්තා ඉස්තෝප්පු කාමරයට ඇතුල් වෙනවා තමා නොදැක්කාට ඔහු අවුත් එය පෙට්ටියේ දමා යන්නට ඇතැයි ලීලා සිතුවාය.
තාත්තාගේ මුහුණේ ඇඳී තිබි සිනාව මතක් කරමින් ලීලා මුද්ද අතට ගෙන එය කිහිප වතාවක් අල්ලෙන් අල්ලට මාරු කළේය. ඇය එය පළඳින බව ඇය දත්තා ය. තවත් කල් යවන්නේ මන්දැයි කියන්නාක් මෙන් ලීලා තම දකුණතේ මහපටැඟිල්ලට එය දැම්මා ය.
“ලිලි, මෙච්චර සෙනඟක් මැද නිදා වැටෙන්න ගන්නවා නම් ආයේ මීට පස්සෙ කිසිදාක එක්කන් එන්නෑ ඔයාව.”
ලීලා මුලින් ම බැලුවේ මහපටැඟිල්ලේ මුද්ද දිහා. ගවුමේ රැළි අතට යටින් වූ අත්වැසුමේ සුදු සැටින් අස්සෙන් මුද්ද ඉලිප්පී පෙනෙයි.
“කොහෙන් ද ඔය දහ ජරාවක් හොයාගත්තෙ?”
වදන් ඉංග්‍රීසි වුවත් උච්චාරණය කිසිදා අසා නැත්තකි.
“මගෙ පෙට්ටියෙන්,” මිමිණු ඇය තමා ද භාෂාව හසුරවන්නේ එම උච්චාරණයෙන් ම බව දැක සිනාවකින් මුව සරසා ගත්තාය.
තමා ඉන්නේ යම් රඟහලක. සිවිලිම මැද්දේ ඇතුලට නෙරා ගිය ලොකු රවුමකි. ඒ වටෙන් හතරැස් කොටු වලින් හා තවත් ලොකු රවුමකින් යුතු වූ කොටස් ඇතුලත නොයෙකුත් ලියවැල් මෝස්තර රටා ය. ලීලා සහ ඇය සමඟ වූ කාන්තාව ඇතුළු පිරිසක් වාඩි වී සිටියේ වේදිකාවේ දකුණු පැත්තේ දෙවැනි බැල්කනියේ මුල් පෙළෙහි ය. වහල දක්වා ම ඉදි වී ඇති බැල්කනි හතරකි. අතුරු සිදුරු නැතිව ඒවායේ සෑම තැනක් ම මනාව සැරසුන අයගෙන් පිරී ඇත. විල්ලුද ඇල්ලූ තමන් වාඩි වී සිටිනා පුටුව දැක මේ අතීතයක සිරියාව බව ඇය වටහා ගත්තාය.
වේදිකාවට ඉදිරියෙන් ඇති ශාලාවේ පුටු කිසිත් නැත. බෝරිච්ච අත් ඇති, දිගු රැලි දැමු අත් ඇති ගවුම් වල පිම්බෙන සායවල් පටන් ගෙන ඇත්තේ ඉතා ඉහළින් ය. කොණ්ඩා මෝස්තර හා රන් අබරණ දමාගත් කාන්තාවන් සහ කබා අස්සෙන් රැළි ගැසුනු ලේන්සු එල්ලාගත් පිරිමි බස්තම් එල්ලා ගෙන, තොප්පි අතැතිව වේදිකාව දෙසට හැරි එකිනෙකා සමඟ කතාබහේ යෙදී සිටින්නේ හිටගෙන ය. තමා මෙන් බැල්කනි වල හිඳගෙන සිටිනා අය ඒ අයට වඩා වැඩි මිලක ටිකට් ගන්න ඇති මේ සුවපහසු පුටු ලැබෙන්න, ලීලා සිතුවාය.
“මේක තමයි අළුතින් ම ජර්මනියෙන් ආනයනය කරන ලද්ද.” කවුදෝ කාට දෝ කියනවා ලීලාට ඇසුණි.
“මේ මොකක් ද?” ලීලා තමාට කතා කළ කාන්තාව වෙතින් ඇසුවාය.
“තුන්වැනි ජවනිකාව.”
“මොකේ තුන්වැනි ජවනිකාව ද?”
“එකයි, දෙකයි බලද්දි නම අමතක වුනා ද,” ඇය සිනහා වූවේ එය බොහෝ වතාවක් පුහුණුවෙන් වඩවා ගත් ආකාරයකින් යැයි ලීලාට සිතුණි.
ලීලා කිසිත් නොකියා ඇය දෙස බලාගෙන සිටියාය. ඇය වෙනතක හැරී නැවතත් ලීලා දෙස බලා “ලිලි, ඔයා තරම් කරදරකාර නංගි කෙනෙක් වෙන කාටවත් නැතිව ඇති,” යැයි කීවාය.
“මගේ අක්කා,” ලීලා මැතිරුවේ සතුටින්. ඒත් අක්කා හිතුවේ අය සරදම් කරනවා කියාය.
“අක්කා දන්නවා නංගිට වඩා. අක්කා කියන්නම් නංගිට මේ ඔපෙරාවේ නම ඔර්ෆියස් බවත්,” ඇය සිනාවකින් කිව්වත් නොරිස්සුම් ගතියක් වදන් වල මුසු වී තිබුණි.
“ස්තූතියි,” අක්කාගේ සිත රිදවීම ලීලාගේ පරමාර්ථය නොවීය. මට අක්කා කෙනෙක් ලැබිලා, මොකක් ද මම මුලින් ම කළේ. එයාට කේන්ති යන දෙයක් කියන එක, ලීලාට සිතුණි.