රිදුම් දෙන ගෙල අතගාන ලීලාට තමා ඉන්නේ ඉස්තෝප්පු කාමරයේ මේසය ඉදිරියේ හිටගෙන බව පෙනින.
හිටගෙන නින්ද ගිහින් මම හීනයක් දැක්කා ද?
ඇය වහාම දණගසා පුටුව ළඟ වූ රතු පැහැති ලෑලී තීරුව වෙත නැඹුරු වූවාය. ලෑලි පියන සෙමෙන් ඉස්සුවාය. ඇතුලත කුහරයේ බහා ලූ අගුල් නොමැති පෙට්ටියේ පියන එක අතකින් ඇරියේ අනිත් අතින් තවමත් රිදුම් දෙන ගෙල අතගාද්දී ය. ඇගේ හදවත වේගයෙන් ස්පන්දනය වෙන හඬ වහලේ උළුකැට මත තදින් වැදෙන වැසි බිංදු හඬට වඩා දැඩි යැයි ඇයට සිතුණි.
තාම වැස්ස ඉවර වෙලා නැහැ.
කෝ මම දාගත්තු මාලය?
වැස්සට තෙමී බර දරා ගත නොහැකි මහළු ගසක් ඈතකින් බර බර ගා කඩා වැටුණි. පොළවේ පතිත වූ දෙදිරිල්ලෙන් නිවසේ උළුකැට සියල්ල සෙලවුනා යැයි ලීලාට හිතුණි.
දැන් අම්මා ඉස්තෝප්පුවට ඒවි. මාව අහුවේවි.
ඇය පියන වසා දිව යන්නට නැඟිටිද්දී දොර අසල කොළ, නිල් හා රතු පාටින් මැණික් ඇල්ලු පදක්කමකින් යුතු රන් මාලය බිම වැටි තියෙනවා දැක්කාය. සැනසුම් සුසුමක් හෙළන්නට කාලයක් නැත. වහා එය ඩැහැගත් ලීලා එය පෙට්ටිය තුලට බහා පියන වසා කුහරයේ ලෑලී තීරුවත් වසා දමා හනිකට ඉස්තෝප්පුවට පිවිසියේ කාමරයේ දොර අම්මා එනවාත් සමඟින් අඩවන් කරගෙන ය.
“හැමදාම මතක් කරනවා මැරිච්ච ඉඹුල් පුළුන් ගහ කපන්න කියලා, කෝ තාත්තාට වෙන වැඩනෙ,” අම්මාගේ මැසිවිල්ල සුපුරුදු පරිදි ගලා යයි. “අනේ මගෙ බතල පාත්තිය. මේ මුරුගසන් වරුසාව ඉවර වුනත් ගහ කපලා අයින් කරවන්න කාවවත් හොයාගන්න වෙන්නෙ නැහැ බතල ටික ඔක්කොම නරක් වෙලා යනකන්.”
ඇය ඉස්සි ඉස්සී ගහ කඩා වැටී ඇත්තේ දිගට ද හරහට ද යැයි නිශ්චය කරගන්නට වැර දරයි.
ලීලා හිස පමණක් හරවා ඉස්තෝප්පු කාමරයේ දොර හරිහැටියට වැසී ඇත්දැයි බැලුවාය. වෙනදා මෙන්ම මිසක් එහි කිසිදු වෙනසක් දකින්නට නොහැකිය.
කොහෙද මම ඒ ගියේ? කවුද ඒ හමුවෙච්ච මිනිස්සු?
කරෝල ගඳ හැමූ කමිස කඩමාල්ල වෙනුවට ගෙදරට ඇති චීත්ත ගවුම නැවතත් ඇඟ දැවටෙයි. ඇය අත් දෙකේම අල්ල පාමින් නැහැයට ළං කළේ අතේ දුඟදක් ඇත්දැයි විපරම් කරන්නට ය.
“ඉඹ ඉඹ බලන්නෙ නැතිව මොකක් හරි ඇල්ලුවා නම් ගිහින් අත් සෝදාගන්න එකයි තියෙන්නෙ,” අම්මා ඇය දිහා බැලුවේ හරියට ඒක නොදැනගෙන ඉන්න තරම් ඔයා පුංචි ළමයෙක් වෙන්නෙ කොහොම දැයි අහන විලසකිනි.
“වැස්ස හින්දා වෙන්නැති,” ලීලා මිමුණුවාය.
“වැස්ස කියලා හැම දේකින් ම ගැලවෙන්න බැහැ. වැස්ස දිහා බලාගෙන අත් ඉඹ ඉඹ ඉන්න වෙලාවේ ගිහින් පොතක් පාඩම් කරා නම් මොකද?” ඇය කීවේ වැසි පොදින් නොතෙමෙන්නට පුටු එකින් එක වෙනතකට අදිමිනි.
“අම්මෙ ..” ලීලා පටන් ගත්තේ ඇහෙන නෑහෙන හඬින්.
මඳ නිවාඩුවක් ගත් වැස්ස වැඩේ ඉවර නැහැ කියන්නට මෙන් නැවතත් හඬ නඟමින් ඇද හැලෙන්නට විය. ලීලාගේ ආරම්භය එයින් මැකී ගියේය.
“ඇතුලට ගිහින් ලාම්පුවක් පත්තු කරගන පාඩම් කරන්න. මෙතන හිරි පොදෙන් තෙමිලා ලෙඩක් හදාගන්නෙ නැතිව.”
ලීලා මොහාතක් මව දෙස බලා සිටියාය. ඇයට අහන්න දහසක් ප්‍රශ්න තිබුණි. ඇතුලට යන දොර පියන් වසන්නට හදන අම්මාගේ මුහුණ ඊට කිසිම ඉඩක් නොදෙයි.
ඇය යටි පතුල් ඇදෙන සේ කුකුල් අද්දමින් නොක්කාඩු ලෙසින් මව පසුකර යද්දී මව ඇගේ අත්දෙකෙන් අල්ලා ඇයව නතර කළාය.
“බැස්ස නේද වැස්සෙ එළියට? බලන්නකෝ මෙච්චර කියනවා ඔය කකුල් පතුල් වලින් පණුවෝ ඇතුල් වෙනවා කියල මඩේ බැස්සම. කෝ අහන්නෙම නෑනේ. කියන දෙයක් අහන්නෙ ම නෑ. මම නිකං කට තියෙන නිසා කතා කරනවා වගේ. පණු අමාරු හැදුනම ඊයා ඊයා කිය කිය ගේ වටේ දුවන්න පුළුවන් ආයි සැරයක්. මේ සැරේ තාත්තා එක්ක ඕන දෙයක් කරගන්න. එපා එන්න මට කියන්න.”
ලීලා මව පසුකර ගියේ සිනහවක් මුහුණේ පැතිර යද්දී. කොහේ ගිහින් ආවත් කමක් නෑ, මේ නම් ඇවිත් ඉන්නෙ මගේ ගෙදරට ම තමා.