“ලෝ ..”
ඝන අඳුරේ කිසිවක් නොපෙනේ.
“ලෝ ..”
හඬ එන්නේ කොයි පැත්තෙන් දැයි සොයන්නට ඉඩක් නොදී මදුරුවෙක් වේගයෙන් එහා මෙහා යමින් කන අසල බෙරිහන් දෙයි.
“ලෝ ..”
නුරුස්සුම් බවක් හිතේ මෝදු වෙද්දී ලීලා කන අත ගෑවේ මදුරුවා එළවන්නට. ඒත් අතේ පොඩි වී ගියේ මදුරු රොත්තකි. බෙරිහන් නාදය එක මදුරුවෙක් ගෙන් නොවේ. මුළු සිරුර වටකර ගෙන මදුරුවන් සිටිනා බව අවබෝධ වෙද්දී ඇඟේ හැම තැනකින් ම මදුරුවන් විදි වේදනාවන් දැනෙන්නට ද පටන් ගති.
“ලෝ .. මෙන්න ගෙනිහින් දීපන්. හැබැයි මඟ දී උඹ මේක ඇරලා කෑවොත් ආපහු එන්න හිතන්න එපා.”
ලීලා තමා අත වූ ටින්කිරි ටින් එක දිහා බැලුවේ විමතියෙන්. දිගු කළ අත අයිති අයව දකින්නට නොහැකි තරම් අඳුර ඝන ය. ඒ ගැහැණු කටහඬක් ද නැත්නම් පිරිමි කටහඬක් දැයි ඇයට සිතාගත නොහැකිය. ඒ කටහඬින් නිකුත් වුනේ සිංහල බස නොවන බවත්, ඒත් ඒ නුහුරු බසින් කී පණිවිඩය තමන්ට වැටහුන බව දකිද්දී ඇයගේ දෑස් විසල් විය.
“පල, පල තවත් ඉන්නෙ නැතිව. ඉක්මන් කළේ නැත්නම් උඹත් අහුවේවි.”
“කාට ද?”
ඇය අතින් කට වසා ගත්තා ය. තමන් කතා කරනුයේ ද ඒ නුහුරු බසිනි.
“වෙන කාට ද අහුවෙන්නෙ, කරකියා ගන්න බැරිව ඉන්න ලිබරේ කෙනෙකුට මිසක්.”
ඇයට උපදෙස් දුන් කටහඬේ වූයේ පසුතැවිල්ල මුසු වූ බලාපොරොත්තු සුන් වූ බවයි.
“මම ඇහැව්වේ මේක ගිහින් දෙන්නෙ කාට ද කියල.”
“හෑහ්?”
“කාට ද මේ ටින්කිරි ටින් එක ගිහින් දෙන්නෙ?”
“ෂ් .. හයියෙන් කියන්න එපා. අඩි හතරක් යන්න කළින් උඹව මරලා ටින් එක උදුර ගන්න බව නොදන්නවා වගේ කතා කරන්නෙ මොකද? උඹ ඔය කමිසෙ ගත්තේ මේ වැඩේ කරන්නට. වැඩේ කරන්න බැරි නම් කමිසෙ ආපහු දීපන්.”
ලීලා ඇස් පොඩි කර කමිසය දිහා බැලුවාය. එය තැනින් තැන හිල් විසාල සංඛ්‍යාවකින් පිරි නූල් එල්ලෙන කඩ මාල්ලක් මිස කමිසයක් නොවේ. කුණු කරෝල ගඳක් ඇගේ නැහැයට ගලා ආවේය.
“පලයන් තවත් කල් දාන්නෙ නැතිව. නැත්නම් ආපහු එන්න නෙමෙයි.” කටහඬ කිව්වේ උඹ කුමක් කළාත් දැන් ඵලක් නැහැ කියන්නා සේ ය.
“කාට ද දෙන්නෙ?” ලීලා නැවත වරක් ඇසුවාය.
“බෙල්බෙනුවා ට. දැන් අහන්න එපා ඌ ඉන්නෙ කොහෙද කියල ..”
“ඌ ඉන්නෙ කොහෙද?”
“මාත් අහුවෙන්නෙ මගෝඩි කෙල්ලන්ටමයි. දන්නෙ නැතිව වගේ අහන … පලයන් යන්න, ඌට විතරයි විලි වහගන්න අමුඩ කෑල්ලක් තියෙන්නෙ. පලයන් හනිකට, නැත්නම් උඹව මරන්නෙ මම.”
ඇය ටින්කිරි ටින් එක කමිස කඩමාල්ලෙන් වසන් කරගත්තේ ඇයි දැයි කියන්නට නොදනී. තැබූ මුල් පියවරෙන් ඇයගේ පතුල මඩින් පිරි ගොහොරුවක එරුණි. ඒ කකුල අද්දා ගන්නට වෙර දුන් අනිත් කකුල වැටුනේ ද ඒ මඩ ගොහොරුවේ ම ය. තමා වටකර ගෙන බෙරිහන් නාද කරනා මදුරු රෑනත් සමඟින් මඩේ එරෙන කකුල් අද්දමින් ඉදිරියට ඇදුනේ කවුද මේ බෙල්බෙනුවා යැයි සිතමින්. මොකට ද එයාට ටින්කිරි ටින් එකක්? මේ කොහේ ද? මම මෙතැන මොකක් ද කරන්නෙ?
යකඩ ගරාදි ගසා තිබි ජනේලයක් අසල මුහුණක් දිස්විය. තමන් එන මඟ බලා සිටින අපේක්ෂා සහගත බවක් එහි පෙනුනෙන් ඇය හිමින් “බෙල්බෙනුවා?” යැයි විමසීය. ඔහු කිසිත් නොකියා කරගැට වලින් පිරී බුබුළු නැඟී සැරව වෑස්සෙන අතක් යකඩ ගරාදි අතරින් පෑවේය. ඇය ටින්කිරි ටින් එක එහි තැබුවේ මේ ඔහු නෙමෙයි නම් ඒ මගේ වරද නෙවෙයි සිතමිනි.
නැහැය උඩින් හිඳගෙන සමච්චලයට බෙරිහන් දෙන මදුරැවා තලද්දී නැහැය පමණක් නොව මදුරු ප්‍රහාර වලින් මුහුණ මුළුමනින් තඩිස්සි වී ඇති බව ඇයගේ අත් දෙකට දැනිණ.
මේ මඩ ගොහොරුවේ මා කුමක් කරනවා ද?
ගසක් අසලින් හෙළුවැල්ලෙන් සිටගෙන සිටියෙක් මෑත් වී ඇයගේ අත අල්ලා ගති. ඒ දුඟද හමන කේඩෑරී සිරුර අයිති වූයේ පුරැෂයෙකුට ය. ඝන වළාකුලක් අස්සෙන් හඳ යාන්තම් එබිකම් කළේය. ඇයගේ ගෙල වටා පැළඳි කොළ, නිල් හා රතු පාටින් පදක්කමක් එල්ලෙන මාලය දැක ඔහුගේ දෑස් මෘග ස්වරූපයක් ගති. ඔහු මාලය කඩාගෙන ගස් අතරින් දිව ගියේය.
****
René Belbenoit ලියූ Dry Guillotine කතන්දරයේ පසුබිම වෙයි.