මොර සූරන වැස්සකි.
ගෙදර සිටිනා කිසිවෙක් කරනා කියනා කිසිවක් ඇහෙන්නේ නැති තරමට කළු වළාකුලින් පිරි අහසින් ඇද හැලෙන වැසි බිංදු හඬ පතුරවා හරියි. වෙනදා තොර තෝංචියක් නැතිව ඇහෙනා අම්මාගේ මැසිවිලිය වැස්සේ ගෝරානාඩුවෙන් යටපත් වී ඇතැයි දකිද්දී ලීලාගේ මුවේ නොදැනුවත්ව ම සිනාවක් පැතිර ගියේය.
ඉස්තෝප්පුවේ තිබි ඇඳි පුටුවක දිගා වී ඇය වත්තට ගලා එන වතුර පාරක් එන්න එන්නම තරමින් විශාල වෙනවා බලා සිටියාය. උළුකැට වහලේ වැදෙනා වැසි බිංදු පීලි පයිප්ප දිගේ ගොර ගොර ගා ගලා බැස කානුව පුරවා උතුරා යයි. ඒ මැද්දට කොහේ දෝ සිට සුළඟට ගසා ගෙන ආ ඉද්දමලක් වැටී රවුමේ කැරකැවෙමින් වතුරේ ගිලෙන්නට අකමැත්තෙන් සටන් වදිනා දිහා ඇය බලාගෙන සිටියාය.
ඇය වරක් දෙවරක් ඉස්තෝප්පු කාමරය දිහා ඇස ගැසුවාය. ඊට ඇතුල්වීමට අවසර ඇත්තේ තාත්තාට පමණි. එහෙත් ඔහු එහි දොර හරිනවා ඇය කිසිදාක දැක නැත. අස්පස් කරන්නට කිසිවෙක් නොයති. දිනක් ඥාති සොයුරු සොයුරියන් හා හැංගිමුත්තන් සෙල්ලම් කරද්දී එහි හැංඟෙන්නට දොරේ අගුල කරකවද්දී එතැනට පැමිණි අම්මා එයට කිසිදාක ඇතුල් නොවන්නට යැයි ඇයට තරවටු කළාය.
අම්මා පෙනෙන මානයක නැත. කිසිවෙක් පෙනෙන මානයක නැත. දොරේ අගුල කරකවද්දී ගෙදර කාටවත් ඇසෙන්නේ ද නැතිබව ලීලාට හොඳටම විශ්වාසය. ඇය ඇඳි පුටුවෙන් නැඟිට සෙමෙන් පියමං මැන දොරේ අගුල කරකැව්වාය. දොරේ සරනේරැව කිසිත් සද්දයක් නොකරම හැරුනේ හැමදා හොඳින් බලා කියා ගත් ලෙසකිනි.
තැන තැන ගොඩ ගැසූ පත්තර හා සඟරාය. අතොරක් නැතිව පොත් පිරි පොත් රාක්ක හා වීදුරු පියන් වූ අල්මාරියක් බිත්තියක් වැසෙන්නට එක පැත්තකය. කාමරය මැද පළල් මේසයකි. ඒ අසල වූ වේවැල් බොකු ගැසුන පුටුව ඉදිරියෙන් වූ ඇබිත්තන් ඉඩකඩක් හැරෙන්නට මේසය පුරා වූයේ ලියකියවිලි ගොණු ගොඩවල්.
ලීලා බොකු ගැසුණු වේවැල් පුටුවේ හිඳගත්තා ය. ඉදිරිපිට වූ කොළපාට පදම් හමින් වූ මේස තීරුව උඩ අතේ ඇඟිලි තද කරමින් හැඩ මතුවෙන ආකාරය බලා සිටියාය. වැලමිටි සුමුදු තීරුවේ රඳවා අත්ලේ නිකට හිර කරගත් ඇය කාමරයේ හැම අස්සල් මුල්ලක් නෑර ම බැලුවේ සියල්ල මතකයේ අල්ලා ගන්නටය. ආයෙත් මේ කාමරයට ගොඩ වදින්නට කවදා ලැබේවි ද?
මේ කාමරය වසා තැබිය යුත්තේ ඇයි? එහි ඇති පරණ පොත්පත් කවුරු හරි හොරකම් කරයි කියා ද? අල්මාරියේ ඇති පොත් වීදුරු පියන් තුලින් දැකිය හැකි වුව ද එහි අගුලක් නැත. ඉබ්බෙක් නැත. කාමරයට ඇතුල් වෙන දොර මෙන් ම ඇතුලේ කිසිවක් අගුල් දමා නැත. තමා ඉදිරියේ වූ මේසයේ ලාච්චුව ඇද විවර කළ ලීලා එහි වූ ආදී කාලේ පැන්සල්, පෑන් හා මකන කෑලි දිහා බලා සිටියේ විස්මයෙනි. පැන්සල් උල්කරන්නට කුඩා පිහිතලයක් ද විය.
කාමරයට ඇතුල් වී සොයා බලන්නට ලීලාට තිබි කුතුහලය තවත් ඉදිරියට ගෙන යන්නට එහි වූ කිසිවක් සමත් නොවීය. ලීලා පුටුවෙන් නැඟිට්ටේ අම්මාට අහුවෙන්නට පෙර කාමරයෙන් පිටවෙන්නටයි.
පුටුවෙන් නැඟිට්ටේ එතරම් කලබලයකින් නෙවෙයි. ඒත් ඒ වැඩි බරකින් නොයුතු පුටුව හදිසියේ ඉවත් වූ ඇයගේ බර නිසා පෙරළෙන්නට ගියේය. ඇය හනිකට එය අල්ලා ගත්තේ පුටුව බිම වැදී හඬ පැතිර ගිහින් අම්මාට ඇසේවි යන බියටයි. එහෙත් පුටුව කෙළින් කරද්දී තවමත් උළුකැට වහලේ තදින් වැදෙනා වැසි බිංදු හඬින් පරිසරය දෙවනත් වීම නැවතී නැති බව ඇයට පසක් විය.
හිමිහිට පුටුව තිබි ආකාරයට ම හිටවද්දී පුටුවේ කකුල් දෙක තැබෙන තැන සිමෙන්ති පොළවේ ලෑලි තීරුවක් ඇතිබව ඇය දුටුවාය. එය සිමෙන්ති පොළවේ ගා තිබි රතු පාටින්ම යුතු වූ ද යමක් රඳවන්නට හැදූ විශේෂ කුහරයක් බව බැලු බැල්මට ඕනෑම අයෙකුට පෙනෙන්නකි. ඇය බිම දණගසා ගෙන එහි ලෑලී පියන සෙමෙන් ඉස්සුවාය. ඇතුලත වූයේ කුහරයේ හිරවෙන තරමට බහාලූ පැරණි පෙට්ටියකි. එයත් අගුල් ලා නොතිබුණි. ඇය පෙට්ටිය එහි තිබිය දී ම එහි පියන ඇරියාය.
ඇතුලත මුතු මැණික් ඇල්ලූ රන් රිදී අබරණ මොට දිස්නයකින් ඇය පිළිගත්තාය. උළුකැට වහලේ තදින් වැදෙන වැසි බිංදු හඬ ඇයට තව දුරටත් ඇසුනේ නැත. මේ පෙට්ටිය අගුල් ලා නැත්තේ ඇයි දැයි විමසීම මතකයෙන් ගිලිහිණ. ඇය අත දා පෙට්ටියෙන් එළියට ගත්තේ අබරණ අහුරකි. කොළ, නිල් හා රතු පාටින් මැණික් ඇල්ලු පදක්කමකින් යුතු රන් මාලයක් ඇය බෙල්ලේ දා ගත්තේ කණ්ණාඩියක් හොයාගෙන හැඩ බලන්නටයි.