මෙහෙය අවසන් වී ආශීර්වාදය ලැබුණු පසු ශාලාවේ හැම කොණකින් ම සුබ පැතුම් මහත් හඬින් ගලා ආවේය.
මුලින් ම මනාලියගේ අත සිප ගත්තේ මවුන්ට්ජෝයි සිටුවරයායි. මේ ජය මොහොත තම ජයග්‍රහණයක් කියා, ඔවුන් දෙදෙනා එක් කළේ තමා යැයි ඔහු මහත් සේ සතුටු විය.
ආදිපාදවරිය සිය වල්ලභයා සමඟ මධුසමය ගත කරන්නට බටහිර ලෝකයේ සියළු අගනගර වෙත පිටත් වී යන්නට පෙර, ආචාර්ය කොකින්ට්ස් විසින් ග්ලෝරියානාව පුද්ගලිකව හමු වී මාලිගයේ ඇඳිරිගෙයි හි රක්ෂිත කුවේඩියම් බෝම්බය වෙත තනිවම යන්නට අවසර ඉල්ලා ගත්තේ ය.
ටැක්සි රියැදුරන්ගේ අතිකාල දීමනා විසඳා ගෙන ඇති බැවින් යළි ස්ථාපිත වූ ප්‍රංශ ආණ්ඩුවෙන් ලැබුණු ගුවන් යානයකින් මනාලියත් මනාලයාත් ප්‍රංශය වෙත පිටත් ව යද්දී ආචාර්ය කොකින්ට්ස් තම කැනරි කුරුල්ලා ගම්භීර ලෙසින් ඇමතුවේ ය.
“ඩිකී,” ඔහු කීවේය, ”මේ කුඩා රට තමයි ස්වභාව ධර්මයේ ශ්‍රේෂ්ඨතම පෙරළියේ ස්වභාවික නිෂ්පාදනය.” කැනරි කුරුල්ලා සතුටින් නාද කළේය. එය ආචාර්ය කොකින්ට්ස් දැක්කේ ඌ තුල වූ මහත් බුද්ධියක් ලෙසට ය.
“ඔව් ඩිකී,” ඔහු කියාගෙන ගියේය, ”මේ කඳුවැටිය හැදෙන්නෙ වසර බිලියන ගණනාවකට පෙර ලෝකය හැදෙද්දී සීතල වෙච්ච පෘතුවියේ පිටත ඉහළට එසැවිච්ච නිසා. එක පාරක් වෙච්ච දෙයක් ආයේ වෙන්න ඉඩ තියෙනවා. ඔයා දන්නවා ද මෙතැන භූමි කම්පාවක් ඇති වුනොත් මොකද වෙන්නෙ කියල, චලනයක් නැත්නම් මේ කඳුවැටියේ මොනවා හරි සෙලවීමක් සිද්ධ වුනොත්? මම කියන්නම් මොකද වෙන්නෙ කියලා. එහෙම වුනොත් කුවේඩියම් බෝම්බය පුපුරනවා. එතකොට අපි ගත්තු සේරම වෑයම ලෝකයේ විනාශය නැති කරන්න, ඒ ඔක්කොම අවලංගු වෙනවා.”
ඔහු කැනරි කුරුල්ලාව තබා වටේට ඇදුනු තරප්පු පෙළ බැස බිම් පතුලේ වූ ඇඳිරිගෙය වෙත ගියේය. ඔහුට පමණක් කුවේඩියම් බෝම්බය තිබි තැනට ඇතුල් වෙන්නට අවසර දෙන්න යැයි ග්ලෝරියානා මුරකරුවන්ට අණ දී තිබිණ. ඔහුට පමණකි. ඔහු සමඟ වෙන කිසිවෙකුට යා නොහැකි ය. දැවැන්ත දොර අරිද්දී එය කෙඳිරි ගෑවේය. ගලින් නිමැ වූ අතුළුවක් උඩ, එහි හරි මැද, පිදුරු ගොඩක් උඩ බෝම්බය රැගත් ඊයම් පෙට්ටිය විය. තමන් පිටුපසින් දොර වැසෙන තෙක් සිටි ආචාර්ය කොකින්ට්ස් එය වෙත සෙමෙන් පා තැබුවේය. ඔහු රැගෙන ආ ලාම්පුව ඔහුගේ කකුල් අසල එළිය කළේය. ඔහු නැවතී ලාම්පුව සෙමෙන් බිම තැබුවේ. ඇස් කණ්ණාඩි පිස දමා ගත්තේ ය. බෝම්බය අල්ලන්නට දිගු කළ අත් වෙව්ලන්නට විය. එහි බර අමතක වී ගිය නිසා වෙන්නැති, සමහර විට ලාම්පුවේ එළිය මඳ නිසා වෙන්නැති, ඔහු ඊට තිබු දුර වැරදි ලෙසින් තක්සේරු කර තිබිණ. සමහර විට ඒ ඔහු තුල වූ නොසන්සුන් භාවය නිසා වෙන්නැති. හේතුව කුමක් වුවත්, බෝම්බය ඔහුගේ අතින් ලිස්සා ගියේය. පිදුර ගොඩ මත මඳක් වෙව්ලා ඔහු ගත හිරිවැටී ගිය බියෙන් බලා සිටිය දී ම දඩස් ගා ඇඳිරිගෙයි ගල් පොළව මතට වැටිණ.
කිසිවක් සිද්ධ වූයේ නැත.
ආචාර්ය කොකින්ට්ස්, ගල්ගැසුණු පුදුමයෙන්, එය දිහා තත්පර කිහිපයක් බලා සිටියේය. ප්‍රවෙසමින් ඔහු එය අතට ගත්තේ ය. පොකැට්ටුවෙන් තියුණු මුවහත ඇති පිහියක් ගත් ඔහු ටික වේලාවක් වෙහෙසී පැත්තක් ගලවා බෝම්බය ඇතුල බැලීය.
“ඉතින්,” ඔහු තමන්ට කියාගති, ”මේක පුස්සක්. මගේ කුලී කාමරේ අයිති රයිනර් මහත්මියගේ කොණ්ඩ කටුව, මේක පුපුරවන්න දුන්නක් හැටියට ගත්ත කොණ්ඩ කටුව දුර්වල ප්‍රමිතියකින් හදලා තියෙන්නෙ. ඉතින් අපි හැමෝම නිරුප්‍රදිතයි. හරි අපරාදේ, ඇය හෝ වෙන කිසිවෙක් මේ ගැන කිසිදාක දැන නොගැනීම ගැන.” ඔහු ගැල වූ පැත්ත ආපසු සවි කළේය. ලාම්පුව අතට ගෙන එතැනින් පිටවිය.
ඔහු දොර අසලින් මුරකරුවන් පසු කරගෙන යද්දී ඔවුන් අතරින් එකෙක් “බෝම්බෙ හොඳ තත්වයෙන් පවතිනවා ද, ආචාර්යතුමනි?” යැයි ඇසීය.
“ඉතා අනගි තත්වයෙන්,” ආචාර්ය කොකින්ට්ස් ඔහුට සහතික වූයේය. “ඒක මෙතෙක් තිබුනාටත් වඩා හොඳ බෝම්බයක්.”
-නිමි-