“ඇතුලට එන්න පුතේ,” පියර්ස් කීය. “ග්ලෝරියානා ඇවිත් ඉන්නෙ ඔයා මුණගැසෙන්න.”
“ඔහ්,” ටලී කීවේය. ඔහු ඇතුල් වී ගිනි උදුන අසලට ගියේය. අතක් උදුනිස මත තබාගත් ඔහු එතැන හිටගත්තේ ය.
ග්ලෝරියානාට හදිසියේ ම දැඩි බියක් දැනින. කුමක් කියන්න ද, කොහෙන් පටන් ගන්න ද, මොන ආකාරයෙන් මොන විෂයයන් ගැන කතාබහ කර තමන් එහි පැමිණි හේතුවේ මාතෘකාවට එන්න දැයි ඇයට සිතාගත නොහැකි විය. ඇයට කාමරයෙන් පැන දුවන්නට සිත් විණ. ඇය එය කරන්නට ඔන්න මෙන්න තිබිය දී “ඔබට යම් සේවයක් මගෙන් අවශ්‍ය නම්, ආදිපාදවරියෙනි, මට ඊට අණ දෙන්න,” යැයි ටලී කීවේය.
“මට තියෙනවා ඔබ එක්ක වැදගත් කාරණයක් කතාබහ කරන්න,” ග්ලෝරියානා රහසින් කීවාය. ඇයගේ සිත බෙහෙවින් ව්‍යාකූල විය. “ඒක රාජ්‍ය තාන්ත්‍රික වූවක්. ඒත් ඒක පුද්ගලික වූවකුත් වෙනවා. ඒක වඩා පුද්ගලික වූවක් රටේ වැඩක් වෙනවාට වඩා.”
“ඒක මොකක් වුනත්,” ටලී කීවේය, “මම මට කළ හැකි ඉහළ ම තරමින් ඊට උදව් කරන්නම්.”
“ඒක උදව් ඕන එකක් නෙමෙයි. ඒක එකට එකතු වෙලා කරන්නක් -මාත් එක්ක කරන වැඩක්.”
“ඔබත් එක්ක කරන වැඩක්?”
“ඔව්, නැහැ ඒත් ඒකම නෙමෙයි.” ඇය උදව් ඉල්ලන්නට මෙන් මහළු පියර්ස් දිහා බැලුවාය.
“ඔයා කියන්න,” ඇය ආයාචනා කළාය. “ඔයා කියන්න, හරියට ඔයා වෙනුවෙන් එයාලා කිව්වා වගේ.”
පියර්ස් ඇයගේ මුහුණ වෙතින් ඇස් ඉවතට ගෙන සිය පුත්‍රයා දිහා බැලුවේය. “ග්ලෝරියානාට අවශ්‍යයි මාව ඇයගේ මාමණ්ඩි කරගන්න. ඒක නේද ඇහැව්වෙ? හරි නේද මම කිව්ව විදිය?”
“ඔව්,” ග්ලෝරියානා රහසින් කෙඳුරුවා ය.
“ඇයගේ කවුරු කරගන්නට?” ටලී විමසීය.
“ඇයගේ මාමණ්ඩිය කරගන්නට.”
“මාමණ්ඩයි කරගන්නට! ඒත් ඔබ මගේ පියා.”
“ඒකාන්තයෙන් ම, අනික ඔයා මගේ එකම පුතා.”
ටලී තත්පරයක් තුල ඔවුන් දෙදෙනාගේ මුහුණින් මුහුණට ඇස් යැව්වේ ය. අනතුරුව ඔහු ග්ලෝරියානා වෙත ගියේය. ඇයගේ අත් දෙකින් ම අල්ලා ඇයව නැඟිට්ටුවේ ය.
“මගේ තාත්තා යෝජනාව ආඩම්බරයෙන් බාරගන්නවා,” ඔහු කීවේය, ”ඔහුගේ පුතා එය නිරහංකාරව බාරගන්නවා.”
22
විවාහ මංගල උත්සවය වසරේ ශ්‍රේෂ්ඨ ම වූ සිද්ධිය විය. එයට ජාත්‍යන්තර වශයෙන් ඩිංගිත්තන් විස්ස පමණක් නොව විසල් තුන ද ආහ. මීට කළින් කිසිත් දාක නොකළ දෙයක් කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා විවාහ මංගල්‍ය්‍යට පැමිණෙන බව දැන්වීය. එය ඇසුණ ගමන් එක්සත් සෝවියට් සමාජවාදී ජනරජයන්හි ලොක්කා කීවේ මේ උත්සවයට තම සහභාගීත්වය කිසිම විදියකින් නවතනු නොහැකි කියාය.
ඒ දැන්වීම බටහිර ජාතීන් සියල්ල ඉතා සතුටින් බාර ගත්හ. එය සැලකුනේ ආගමික ඇදහිල්ල ඉවසීමට රුසියාව සූදානම් යැයි කියන පොරොන්දුවක් හැටියට ය. මහා බ්‍රිතාන්‍යයේ අගමැති මහජන මන්ත්‍රණ සභාවේ දී අතිගරු රැජින ද මංගල්‍ය්‍යට සහභාගී වෙන බව දන්වා සිටිද්දී සභා ගැබ අත්පොළසන් නාදයෙන් පිරී ගියේය. එයින් සතුටට පත් වූ ඩිංගිත්තන් විස්ස තීරණය කළේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ග්ලෝරියානා ආදිපාදවරිය හා අතිනත් ගන්නා ඇය විසින් තෝරාගත් වල්ලභයා වූ ටලී බැස්කොම්බ් ගේ මංගල උත්සවයට තම තානාපතිවරු වෙනුවට තම රටවල් වල නායකයන් යවන්නටය.