සෝවියට් කොමිස්සාර් අයාචනා කළේය, තර්ක කළේය, කෝපයෙන් වියරු වූයේය, බැන වැදුනේ ය, ඒ සියල්ල ම කළේ රුසියන් බසෙනි.
ඒ සියල්ලෙන් ම ඵලක් නොවීය. ටලී ඔළුව දෙපැත්තට වනා ඔහුට ඉවත් වී යන්නට යැයි අතින් සංඥා කළේය. ඊ ළඟට ආවේ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්. ඔහුව නැවත්වූයේ දුනුවායන් පමණක් නොව ඔහුට ඉදිරියෙන් නවතා තිබි රුසියානු කොමිස්සාර්ගේ වාහනය ද විය.
“අර මිනිහාට පාරෙන් අයින් වෙන්න කියන්න,” ඔහු තම රියැදුරාට කීවේය. “මම මේ ඇවිල්ලා ඉන්නෙ නිල රාජකාරීයක් පිණිස.”
රියැදුරා ඉදිරියෙන් වූ වාහනයේ රථ බලපත්‍රයේ වූ රතු තරුව දැක්කේ ය. “මම හිතන්නේ ඒ රුසියානුවන්,” ඔහු කීය.
“රුසියානුවන්, එහෙම ද,” විදේශ ලේකම් කීය. “එහෙනම් වාහනේ කැඩිලා වෙන්නැති. අහන්න එයාට පැත්තකට අදින්න තල්ලුවක් ඕනා ද කියල.” රියැදුරා පිටත් ව ගියේය. ආපසු පැමිණි ඔහු කීවේ කියූ කිසිත් දෙයක් වටහා ගත නොහැකි බවත් වාහනය නම් එතැනින් හෙල්ලෙන්නේ නැති බවත් ය. “ඒ අය කියපු එක ම දේ තමයි ‘නයිට්’ කියල,” ඔහු කීය.
“නියෙට්, මිනිහෝ” විදේශ ලේකම් කීය. “ඒකෙ තේරුම ‘නැහැ’ යන්නයි. එහෙනම් ඉතින් මට ඇවිදින්න වෙයි.” තම සූට් මහන සන්නාලියා වෙත යන්නාක් මෙන් ඔහු වාහනයෙන් බැස රුසියන් රථය පසුකරගෙන යද්දී තොප්පිය ඔසවා ආචාර කරමින් ගියේ වැඩි උනන්දුවක් නැතිව ය. ඔහු මායිම අසලට ගිය පසු ටලී ට කතා කළේය. “ඔබ ද මෙතැන ප්‍රධානියා?” ටලී එසේ යැයි කීවේය.
“බ්‍රිතාන්‍යයේ අගරැජිනගේ විදේශ ලේකම් ඔහුගේ ආචාරය දොලොස්වැනි ග්ලෝරියානා ආදිපාදවරියට පිළිගන්වා ඇය හා හමුවක් ඉල්ලා සිටිනවා බ්‍රිතාන්‍ය අගරැජිනගේ පණිවුඩයක් සඳහා,” විදේශ ලේකම් කියාගෙන ගියේය.
“මට අණ ලැබිලා තියෙන්නෙ කාටවත් ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා කියල,” ටලී ගම්භීරව කියුවේය. ඔහුගේ අත වූයේ පළල අසිපතේ හිස මත ය.
“ඒක දැනගන්නට ලැබීම සතුටක්,” විදේශ ලේකම් පිළිතුරු දුනි. “පුළුවන් ද කරදරයක් නැත්නම් මේ පණිවුඩය ආදිපාදවරියට දන්වා යවන්න. හමුවක් ලැහැස්ති කරන්න පුළුවන් ද කියලා සොයන්න. ඒක ටිකක් වැදගත් වූවක්.”
ටලී අවිනිශ්චිත බවකින් පසුවිය. “කවුද ඔයාට ඉස්සෙල්ලා තියෙන වාහනේ ඉන්නෙ?” ඔහු ඇසුවේය.
“කොහෙත් ම දන්නෑ,” විදේශ ලේකම් කියුවේ ඉතා අහිංසක විදියට යි. “ඇත්ත කියන්නම් ඔයාට, මම ඇතුල දිහා බැලුවෙත් නැහැ.”
“ඒ රුසියානුවන් ද?” ටලී නැවතත් ඇසීය.
“සමහර විට.”
“ඇයි ඔවුන් මෙහෙ ඇවිත් ඉන්නෙ?”
“මේක මගේ වැඩක් නෙමෙයි,” විදේශ ලේකම් කීවේය, “සමහර විට ඔයාලව ආරක්ෂා කරන්න වෙන්නැති.” එසේ කියන ගමන් ඔහු ඉතා සෙමින් එහෙත් හොඳින් පැහැදිලි වන ආකාරයකින් ඇඟිල්ලක් බෙල්ල හරහා ගෙන ගියේය.
“ඇයි ඔබ ඇවිත් ඉන්නෙ?” ටලී විමසීය.
“කැමති නැහැ මිනිහෝ මේ වෙලාවේ ඒක කියන්න. මම හිතන්නෙ මම ඒක වඩා හොඳයි ආදිපාදවරියට ම කිව්වා නම්.”
“ආරක්ෂාව දෙන්නත් එක්ක?”
විදේශ ලේකම් සීරුවෙන් සිටගති. “මම මෙතැන රැඳිලා ඉන්නවා පැයක් විතර, උත්තරයක් ලැබෙන තෙක්,” ඔහු කීය. “එහෙම නැත්නම් ආදිපාදවරියට පුළුවන් මට පණිවුඩයක් එවන්න. මම නැවතිලා ඉන්නේ ෆෙඩ්රික්ශාෆන් වල ලීඩර්මුල් ඉන් කියන නවාතැනේ.”
ඔහු ආපසු වාහනය වෙතට යන ගමනේ දී, රැසියන් වාහනය අසල මඳක් නැවතිණ. පිටුපස ජනේලය තුලින් අතක් දිගු කළේ රුසියන් කොමිස්සාර් වෙතට යි. “ඔයාව දැක්කේ නැහැ පොට්ස්ඩාම් වලින් පස්සෙ,” ඔහු රුසියන් බසින් කීවේය. “මම ටිකක් සිත් තැවුලකින් හිටියෙ. ඔයා ගැන පත්තර වල කිසිවක් පළ වූයේ නැහැ ළඟක දී.”
රුසියන් කොමිස්සාර් හඬ නඟා සිනාසුණි. කුල්මත් බවකින් ගොර ගොර ගා නැඟි ආ සිනා සද්දය හෙණ හඬක් සේ ඉහළට ගොස් නැවතිණ. එය අවසන් වූ පසු ඔහු කෙටියෙන් “අපිට පොඩ්ඩක් ඉන්න වෙයි. මා ළඟ වොඩ්කා ටිකක් තියෙනවා. ඔයා එනවා ද මා එක්ක බොන්න?”
“මම අරන් ආවා සැන්ඩ්විච් ටිකක්,” ලේකම්වරයා කීය. “මේ වගේ රාජකාරී වලට එද්දි සැන්ඩ්විච් අරන් එන එක හොඳයි. ඇයි අපි මගේ වාහනේ ගිහින් වාඩි වෙමු, ඒකෙ ඉඩකඩ තියනවා.”
“කෙසේ වුවත්,” කොමිස්සාර් කීය, ”මගේ වාහනේ ඊට වඩා සැප පහසුයි.”