Sinhala story Blog

ජූලි 3, 2012

කපල කොටල අවලක්ෂණ කෙරුවත් ගහ උත්සාහ කරන්නෙ ජීවත්වෙන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 4:46 පෙ.ව.

“ගහක් කැපුව ම ලී වලට මොකද කරන්නෙ?”

“කුඩා අතු රිකිලි වලින් දර කෑලි හදනවා. ඝන ලී ගෙවල් අලුත්වැඩියා කරන්න යොදා ගන්නවා. සමහර විට අලුත් ගෙවල් හදන්නත්. ඒ ලී වලට ගාස්තුවක් අය කරන්නෙ නැහැ. ඔයා පුදුම වෙයි අපේ ගෙවල් ඇතුලට ගියොත්. අයිතිකාරයට හඳුන්වන්න පුළුවන් ඇතුලෙ තියන හැම ලීයක් ම. ඒක ආවේ මොන ගහෙන් ද, කොතැන ද ගහ වැවුනේ, කොහොම ද කැපුවේ සහ ගහ කපද්දී ගහේ වයස කොච්චරක් ද කියලත්. ගස් කැපුවාට පස්සෙත් ඒවා මිනිස්සුන්ට සේවය කරනවා. මිනිස්සුන්ව සීතලෙන් සහ සුළඟින් ආරක්ෂා කර උණුසුම්ව තබන්නට. ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ තියනවා හැඟීමක් මේ ගස් හරියට ජීවත්වන මිනිස්සු වගේ කියලා.”

“මට ඒ වගේ හැඟීම් ගැන එතරම් ඉවසිල්ලක් නැහැ,” ආචාර්ය කොකින්ට්ස් කීය. “ගස් ඇවිල්ලා ගස්. ඒව මිනිස්සු නෙමෙයි. ඒවායේ ජීවයක් තියෙනවා, ඒක ඇත්ත, ඒත් ඒවා අඩු අගයක ජීවයක්. ගස් වලට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒවාට ආදරය දැක්වීම හුදු අන්ධ විශ්වාසයක් පමණයි.”

පියර්ස් එයට කෙළින් ම උත්තර දුන්නේ නැත. “මම දැකලා තියෙනවා,” ඔහු කීවේය, “අපි ගහක් කැපුවම ඒ කපපු තැන කුඩා අතු රිකිලි ගණනාවක් දළු දාල පටන් ගන්න හැටි. මේ ගහේ තියන ජීව බලය ජීවත් වෙන්න ඕන යැයි උදක් ම ඉල්ලා සිටිනවා. කපල කොටලා අවලක්ෂණ කෙරුවත්, ගහ උත්සාහ කරන්නෙ ජීවත්වෙන්න. ඇයි ඔබ සිතන්නෙ ගහකට හැඟීම් නැහැ කියල?”

ආචාර්ය කොකින්ට්ස් දෙවුර හැකිළීය. ඔහු ඒ ගැන මීට කළින් වැඩි දුර සිතා තිබුනේ නැත. “ඒකෙන් ඔප්පු වෙන්නෙ කපා දාපු කඳේ තාම ජීවය තියනවා කියල විතරයි; ඒක තාම මැරිලා නැති වග විතරයි,” ඔහු කීවේය.

“ඒක ඔප්පු කරනවා තව දෙයක්, ඒ තව දුරටත් එයට ජීවත්වෙන්නට ඕනා කියන එක,” පියර්ස් කීවේය. “ජීවය තියෙන හැම දෙයක් ම ඒක ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. මේ නිසා, කෙනෙකුට ජීවයක් නැති කරන්න පුළුවන් ද කියන ගැටළුව එනවා කෙනෙකුට ජීවයක් උපදවන්න බැරි නිසා. මමයි මගේ පුතයි, අපි දෙන්න ගහක් කැපුවම, අපි දන්නවා අපි විනාශ කළා කියල ඒ ගහ විතරක් නෙමෙයි, ඒ ගහත් සමඟ බැඳුනු සියළු අතීත සිද්ධීන්, ඒ ගහෙන් ලැබෙන්නට තිබෙන්නා වූ සියළු සතුට, ඒ ගහට ජීවත්වෙන්නට ඉඩ දුන්න නම්, අනාගතයක දී දෙන සතුට. ඉතින් මේ නිසා මට හොඳින් පැහැදිලි වුනා ඔබ කිව්වාම විද්‍යාඥයන්ට දෙවියන්ගේ හෝ සාතන්ගේ භූමිකාව රඟන්න එයාලා ජීවත්වෙන සමාජයේ සාමාන්‍ය මිනිස්සු නිසා සිද්ධ වෙන කතාව. මමයි මගේ පුතයි මේ ගස් ගැන දී දෙවියන්ගේ හෝ සාතන්ගේ භූමිකාව රඟනවා. මිනිස්සු තීරණය කරලා කියන විදියට ඒවා කපලා, ඒවා රැකලා. මේ ගස්වලට ඒ ගැන කිසිම දෙයක් කියන්න ඉඩක් නැහැ. අභියාචනයකට ඉඩ නැහැ. ඒත් සමහර වෙලාවට මට හිතෙනවා එයාලට ඊට ඉඩක් තියෙන්න ඕන කියල.”

ඔහු ගසකින් ගැලවිච්ච පොත්තක් අතට ගෙන එය පොකුණට විසි කළේය. එය රවුම් රවුම් කැරකී බැම්මට ළං වෙන හැටි බලා සිටියේ ය.

“කෙසේ නමුත් අපි දෙන්නා අතර එක වෙනසක් තියෙනවා,” ඔහු නැවතත් කතාව පටන් ගති. “විද්‍යාඥයන්ගේ ජීවය ද මරණය ද කියන බලය එයාලගේ සෙසු මානව වර්ගයා සඳහා මෙන් ම ඔයා කියන අඩු අගයක ජීවයක් ඇති ප්‍රාණ සඳහායි. අපේ බලය තියෙන්නෙ මේ පැලෑටි ප්‍රාණ සඳහා පමණයි. විද්‍යාඥයෙක්ගේ වැඩ, යුද්ධයක් සඳහා යෙදවුනාම වෙන්නෙ එක මිනිස් කොට්ඨාශයකට තවත් මිනිස් කොට්ඨාශයකට වැඩියෙන් ඉහළින් ඉන්න ලැබීම. ඒක එහෙමයි කියමුකෝ. ඒත් දැන් වෙන්නෙ යුද්ධ වල නිරත වෙන රටවල් වලට විතරක් නෙමෙයි නිකම් අහක ඉන්න රටවල් වලටත් ස්වභාව ධර්මයටත් ඒක බලපෑම. මේ ගස් වගේ ම, ඒ රටවල් වලටත් කිසිම අභියාචනයකට ඉඩක් නැතිව මරණයට නියම වෙන්න සිද්ධ වෙලා.

“ඔවුන් ව මරණයට විතරක් නෙමෙයි නියම වෙන්නෙ, සම්පූර්ණයෙන් ම වඳ වෙලා යන්නත්. ඒ ගැටුමේ කිසිම කොටසකට සහභාගී වූයේ නැතත්. ඔවුන් යුද්ධ පටන් ගත් අයත් නෙමෙයි ඒවා ඉවර කරපු අයත් නෙමෙයි. ලොකු දැවැන්තයෝ සටන් වදින කොට එයාලගෙ ඉරණම දුක් විඳීමයි. ඔවුන් අසරණයි තමන්ව ගලවා ගන්නට. මේ ඔබ හදපු බෝම්බය වගේ ආයුධ නිසා යුද්ධයක් සීමා කරන්න බැහැ තව දුරටත්. ඒක හැමෝවම නැති කරලා දානවා. ඉතින් ඔක්කොම විනාශ කරන නිසා, ඒක විද්‍යාඥයාගේ වගකීමක්, ඒක තම රට වෙනුවෙන් හා තම වර්ගයා වෙනුවෙන් වූ වගකීමක් ද වෙනවා.”

The Shocking Blue Green Theme Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.