“අළුත් දෙයක් නැහැ,” පණිවුඩකරුවා පිළිතුරු දුන්නේ ය.
“මාධ්‍ය කාර්යාලයේ ඉන්න කොල්ලො ටික පරණ පුරුදු විහිළු පටන් ගෙන. එච්චරයි.” ඔහු හිස වනා පිට වී ගියේය. චෙට් ලියුම්කවරය අතට ගති. එහි පැරණි ලාංඡනයක සීල් වැදී තිබිණ. එහි විශේෂිත බවක් ඇතැයි ඔහුට සිතිණ. ඒත් එය විවෘත කළ පසු ඔහු සිනහා වූයේය.
පිටුවේ උඩ, එක හොටකින් “ඔව්” හා අනිත් හොටෙන් “නැහැ” කියනා ඔළු දෙකකින් යුතු උකුස්සෙකුගේ ලාංඡනයකි. ඊට යටින් පරණ ඉංග්‍රීසි අකුරු වලින්, “ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව” යැයි ලියා තිබුණි. පණිවුඩය ලියා තිබුනේ දැකුම්කළු වැල් අකුරු වලිනි.
ජනාධිපති, කොංග්‍රසය, සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව වෙතටයි- සුබ පැතුම්.
මෙසේ දන්වමු, ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව, ක්‍රි. ව. 1370 දී එහි ආරම්භයත් සමඟ ස්වාධීන හා පරමාධිපත්‍ය බලයෙන් යුතු වන්නකි,
මෙසේ දන්වමු, ශිෂ්ඨ සමාජ විසින් ශතක පහකට වඩා කාලයක් පුරා එහි ස්වාධීනත්වයට හා පරමාධිපත්‍යට ගරු කරන ලද අතර එයට ඔවුන් හා සම ස්ථානයක් ලැබී ඇත්තකි,
මෙසේ දන්වමු, මේ කාලය පුරා ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ ප්‍රධාන ජීවනෝපාය වූයේ සුවිශේෂී වූ අනගි වූ ලෝකය පුරා පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් නමින් සුපතල වූ වයින් නිෂ්පාදනයයි. මේ වයින් නිෂ්පාදනය වෙන්නේ ආදිපාද දනව්වේ උතුරු කඳුවැටියේ දකුණු මිටියාවතේ පැරණි මිදි වතු වල හැදෙන මිදිගෙඩි යුෂ වලිනි.
මෙසේ දන්වමු, අධම ලෙසින් මේ සුපිරි වයින් වල කොපියක්, පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් නමින්, ඇමෙරිකාවේ දේශපාලන භූමියේ වන කැලිෆෝර්නියාවේ සැන් රෆායෙල් නගරයේ සමහර වයින් නිෂ්පාදකයන් විසින් මිල පස් ගුණයකින් අඩු කරමින් විකුණන්නට පටන් ගෙන ඇත.
මෙසේ දන්වමු, මේ පහත් නිෂ්පාදනයේ අලෙවිය ස්වාධීන වූ ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ ජීවනෝපායට තර්ජනයකි.
මෙසේ දන්වමු, මෙයින් වන අයුක්ති සහගත තත්වය වළක්වන්නට වහාම පියවර ගන්නා ලෙස යළි යළිත් ඇමෙරිකන් ආණ්ඩුවේ අමාත්‍යාංශ වෙත දැන්වූව ද ඔවුන් එය ගණනකට නොගෙන සිටිති.
මෙසේ තීරණය කරන ලදි, මෙසේ අයුක්ති සහගත ලෙසින් වයින් වෙළඳාම තව දුරටත් කරගෙන යෑම ආදිපාද දනව්ව වෙත දක්වන ප්‍රචණ්ඩත්වයක් සේ ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව දකිනා බව මෙසේ කියමු.
මෙසේ තීරණය කරන ලදි, මෙම සිද්ධිය සාමකාමීව සමථයකට පත් කරන්නට ගත් සියළු වෑයම් අසාර්ථක වූ නිසා දැන් මෙහි දී ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව ඇමෙරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර සිටිමු.
අත්සන් තැබුවේ:
දොලොස්වැනි ග්ලෝරියානා
ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි ආදිපාදවරිය
ඩී. බෙන්ටර්
නායකයා, දියාරුවාදීන්ගේ පක්ෂය
මවුන්ට්ජෝයි
නායකයා, දියාරුවිරෝධීන්ගේ පක්ෂය
චෙට් ලියුම දෙවරක් කියැවූයේය. වරින් වර හිනා වූයේය. “මේ වාර්තාකරුවෝ සෑහෙන්න මහන්සි වෙනවා පොඩි විනෝදයක් ලබන්න,” යැයි කීවේය. “මාර චරිත ටිකක්.” ඔහු තම කබායේ සාක්කුවට ඒ ලියුම දමාගෙන කළින් යොදාගත් ඔරු පැදීම සඳහා පිටත් විය. ඔහු කාලයකින් ඔරු පැද නොතිබි නිසා ඔරුව පෙරලී ගියේය. ලියුම මුළුමනින් ම තෙත් විය. ඔහු ගෙදර ගිය පසු, ඒ ලියුම ඔහු තම කාමරය උණුසුම් කරන රේඩියේටරය පිටුපසින් තබා ඒ ගැන සම්පූර්ණයෙන් අමතක කරන ලදි.