ඇය අමාරුවෙන් ඉදිරියට ඇදුනා ය.
තම දණහිස් වලට දැනෙන දුර්වලතාවය කුමක් දැයි කල්පනා කළා ය. නිල් පැහැ ගැන්වෙන තොල් අස්සෙන් තමන් වෙත රහසින් කියා ගත්තේ: “ඔව් ඔයා දැන් තුවාල වෙලා තමයි. ටිකක් දුර්වල තමයි. ඒක ඉතින් බලාපොරොත්තු වෙච්ච දෙයක්. සිත කරදර කරගන්න අවශ්ය නැහැ,” කියා ය.
උරහිස් ඉස්සරහට නෙරා යද්දී, අතක් ඇලයට හිර වී තිබිය දී, හිම මතින්, කකුල් හිරකර ගනිමින්, දණහිස් එකට හැපෙද්දී, ඇය හරියට බී මතින් වැනෙමින් සේ ඉදිරියට ඇදුනා ය. කුඩා තද පැහැති බිංදු ඇයගේ ලේස් ගවුමේ වාටියෙන් ඉඳහිටක හෙමින් වැටෙනවා ඇය දුටුවා ය. අනතුරුව ඒ බිංදු වැටීම නැවතිණ. ඇය සිනාවක් පෑවා ය.
ඇයට වේදනාවක් දැනුනේ නැත. දුර්වල බවින් වැඩි වන කකුල් දෙකට ඇයගේ අවසාන අවධානය යොමු කරන්නට ඇය සිත යොමා තිබුණි. ඇය යා යුතු යි. ඇය පැනගත යුතු යි. ඇය පැනගත යුතු යි.
තම කටහඬින් ඇයගේ ශක්තියට දෙන ජීව සාන්ද්රණයක් ලෙසින් ඇය තමන්ට රහසින් මතුරා ගත්තා ය: “ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා. ඔයා හොඳ සොල්දාදුවෙක්. දැන් තමයි ඒක ඔප්පු කරන්න හොඳම වේලාව … දැන් … තව එකම උත්සාහයක් … එකම අන්තිම උත්සාහයක්. … ඒක එච්චර නරක නැහැ තවම, නේද? … ඔයාට පුළුවන්. .. ඇවිදින්න විතරයි ඕන … කරුණාකරලා ඇවිදින්න … ඔයා පැනගත යුතු යි …. පැනගත යුතු යි … පැනගත යුතු යි ….”
කබායේ වූ නෝට්ටු රෝලට ඇය අතක් තබා ගත්තා ය. ඒක නැති කරගත නොහැකි ය. ඒක පරිස්සම් කරගත යුතු ය. තව දුරටත් ඇයට පැහැදිලිව කිසිවක් දැකගත නොහැකි ය. ඒක මතකයේ තබා ගත යුතු යි.
ඇයගේ හිස ඉදිරියට කඩා වැටෙයි. ඇය නොනැවතී යා යුතු කකුල් දෙක පෙනෙන සේ, ඒ දිහා බලන්නට සිහින් තීරු දෙකක් පමණක් සේ ඇසිපිය හැර ඇය දෙනෙත් අඩවන් කර ගත්තා ය.
හදිසියේ ම ඇස් ඇර බැලූ විට ඇය හිම මත වැතිර ඉන්නා බව පෙනුණි. ඇය හෙමිහිට හිස ඔසවා කල්පනා කළේ ඇය වැටුණු හැටි අමතක බවයි.
සිහි නැති වී ඇද වැටෙන්නට ඇතැයි ඇය සිතුවා ය. සිහි නැති වී යන ආකාරය කොහොම දැනුනා දැයි ඇය කුතුහලයෙන් සිතුවා ය. මන්ද ඇයට එය වූ හැටි මතක නැත.
නැඟිටින්නට ඇයට බොහෝ වේලාවක් ගතවිණ. ඇය වැටුන තැන රතු පැල්ලමක් තියන බව ඇය දැක්කා ය. ඇය එතැන කාලයක් වැතිර ඉන්නට ඇත. ඇය අමාරුවෙන් ඉදිරියට ඇදුනා ය. ඉක්බිතිව නැවතුනා ය. ඇයගේ දුර්වල දෑස් වල යම් සිතුවිල්ලක් හෙමින් ගොඩ නැඟෙමින් පවතී. ඇය ආපහු ගොස් ඒ රතු පැල්ලම කකුලෙන් ඇදගත් හිම වලින් වසා දැමුවා ය.
ඇය ඉදිරියට ම ගියා ය. කාලගුණය හදිසියේ ම එතරම් උෂ්ණ වී ඇත්තේ මන්දැයි අපැහැදිලි බවකින් කල්පනා කළා ය. ඒ තරම් උණුසුම් වුවත් හිම දිය වී නැත්තේ ඇයි දැයි කල්පනා කළා ය. කොතරම් උණුසුම් දැයි කිවහොත් ඇයට හුස්ම ගන්නට ද අපහසු ය. ඉතින් හිම දිය වී ගියොත් මොකද වෙන්නෙ? ඇයට පිහිනන්නට වෙනු ඇත. එතකොට එහෙනම් ඇය හොඳ පිහිනුම්කාරියකි. ඒක ඇවිදිනවාට වඩා පහසු වේවි. මොකද එතකොට ඇයගේ කකුල් වලට විවේකයක් ලැබේවි.
ඇය වීසි වී ඉදිරියට ගියා ය. ඇය නිවැරදි අතක ගමන් කරනවා දැයි ඇය නොදනී. යන අත ගැන සිතන්නට තිබි බව ඇයට අමතක වී ගිහින් ය. ඇයගේ මතකයේ ඇත්තේ ඇය ඇවිදිය යුතු බව පමණි.
කන්ද හදිසියේ ම තියුණු ප්රපාතයක් අසල නැවතුණු බව ඇය දුටුවේ නැත. ඇය වැටී පෙරළී සුදු බෑවුම දිගේ කකුල් අත් හා හිම අතරින් කරකැවී පහළට වැටුණි.
මුලින් ඇයට එක අතක් හැරෙන්නට වෙන කිසිවක් සොලවන්නට බැරි විය. ඇය මුහුනේ වූ හිම, තොල් වලින් හා මිදුණ ඇසිපිය වලින් පිහිදා ඉවත් කළා ය. සුදු ප්රපාතය පතුලේ සුදු ගොඩක් සේ ඇය ගුලි ගැසී සිටියා ය. මෙවර ඇය නැඟිටින්නට ගත් කාලය පැය ගණනාවක් සේ, වසර ගණනාවක් සේ දැනිණ. අත් ඇඟ ළඟට ගන්නට පමණක් ද, මුලින්, අත්ල බිමට හරවන්නට, වැලමිටි ඇඟට තබා තද කරමින්, කකුල් හරවා, කකුල් එළියට විහිදන්නටත්, අනතුරුව, දණහිස් වලට බර දී, වේවලන අත් වලට හේත්තු වී නැඟිටින්නටත්, හුස්ම ගන්නටත්, හුස්ම ගන්නා විට යටින් කොහේ දෝ පතුලකින් පිහියක් ඇනෙනවා සේ වේදනාවක් දැනෙන්ටත්, එක අතකට බර දී, අනතුරුව ඒ අත හැර දා හිම මතින් නැඟිට, ඇය කෙළින් හිටගත්තේ හති දමමින් ය.
ඇය පියවර කිහිපයක් තැබුවා ය. ඒත් ඇයට ප්රපාතයේ අනිත් පැත්තට නැඟ ගත නොහැකි විය. ඇය වැටුණා ය. එවිට ඇය අත් දෙකෙන් හා දණහිස් වලින් ඉහළට නැඟ්ඟා ය. ඇයගේ උණුසුම් වූ මුහුණ හිම වල බහාලූයේ කම්මුල් සිහිල් කරගන්නට ය.
ඇය කන්ද මුදුනේ දී නැවතත් නැඟිට ගත්තා ය. ඇයගේ අත්වැසුම් නැති වී ගොසිනි. මුව කොන් වල යමක් දැනී ඇය තොල් පිස දැම්මා ය. ඇඟිලි දිහා බලද්දී ඇයගේ ඇඟිලි වල රෝස පැහැති පෙන වලින් වැසී තිබුණි.
ඇයට දැඩි උණුසුමක් දැනිණ. ඇය සුදු සාටකය කොණ්ඩයෙන් ගලවා ප්රපාතයට විසි කර දැමුවා ය. හමා ගිය සුළං වලින් ඇයගේ කෙස් කලාපය හිස පිටුපසට වේවලන කෙළින් ඉරක් සේ හඹා ගියෙන් ඇයට තරමක සුවයක් ඇයට දැනිණ.
ඇය මුහුණ සුළඟට අල්ලා ඔසවමින් ඉදිරියට ම ඇවිද ගියා ය.