Sinhala story Blog

ජනවාරි 3, 2012

අප ජීවත්වන්නෝ -374 ඇය ඉදිරියට යා යුතුය

Filed under: Uncategorized — sinhalashortstories @ 2:32 ප.ව.

ඔහු මිදුණු ඇඟිලි වලට කටින් පිඹමින්, සීතලට සාප කරමින්, රයිෆලය උරහිස තබාගෙන හිම මතින් සෙමින් ඇවිද ගියේ ය. කන්ද බැස යාම ඔහුට කමක් නොවීය. එහෙත් කන්ද නැඟ යාම දුෂ්කර ය. ඔහු කන්ද නැඟ්ඟේ කෙඳිරිගාමිනි. ඔහු මුදුනට නැඟ්ඟේ එතැන තනිවම සිටගෙන, සුළ නැහැය හපන විලසකින් වැදී යද්දී, සැතපුම් ගණනාවකට ජීවතුන් අතර ඉන්නා කිසිදු ප්රාණියෙක් දැකිය නොමැති තැනකට පිවිසෙන්නට ය.

එවිට, ඉවාන් ඉවනොව් පුරවැසියා ඈත එපිටක හිම මත යමක් සෙලවෙනවා දුටුවේ ය.

එය සෙලවුනා දැයි ඔහුට හරියටම නිච්චි නැත. ඔහු අඳුරට ඇස් යොමු කර බැලුවේ ය. එහෙත් සුළඟ විසින් කැරලි ගසමින් හිම දුහුවිලි මිටියාවතේ විහිදවමින් යද්දී තමා යමක් දැකි බව වැරදි කල්පනයක් යැයි ඔහුට සිතිණ. එකම දේ, හිම දුහුවිලි නොවන යමක් සෙලවුනා බව දැකීම පමණයි. කට අත් දෙකින් වට කරගෙන ඔහු “කවුද ඔහෙ යන්නෙ?” යැයි කෑ ගැසීය.

කිසිවෙක් උත්තර දුන්නේ නැත. මිටියාවතේ කිසිවක් සෙලවුනේ නැත.

ඔහු කෑ ගැසීය: “එළියට ආවොත් හොඳයි නැත්නම් මම වෙඩි තියනවා!”

කිසිත් උත්තරයක් නොලැබුණි.

ඔහු මඳක් පසුබට විය. බෙල්ල කැසුවේ ය. රෑ අඳුර දිහා ඇස් අයා සිටියේ ය. ඒත් ඔහු ආරක්ෂා විය යුතු ය.

ඉවාන් ඉවනොව් පුරවැසියා රයිෆලය උරහිසට උස්සා වෙඩි මුරයක් තැබුවේ ය.

අඳුර අතරින් නිල් දැල්ලක් ඉරක් ඇඳී ගොස් මොට දෝංකාරයකින් ඈත එපිටතට පෙරළී ගියේ ය. දෝංකාරය නිවී ගිය පසු වෙනස් හඬක් ‍නොඇසුණි. කන්ද යටින් වූ සුදු මිටියාවතේ වෙනත් සෙලවීමක් දකින්නට නොලැබුණි.

ඉවාන් ඉවනොව් පුරවැසියා බෙල්ල කැසීය. ඔහු එතැනට බැස ගොස් සොයා බැලිය යුතු යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඉතා ඈත එපිටතක ය. හිම ඉතා ගැඹුරු ය. සුළං ඉතා සීතල ය. ඔහු අත වනා වෙනතක හැරුණි. “ඉඳුරාවට ම ඒ හාවෙක් වෙන්නැති,” යැයි මතුරා ඔහු කන්ද බැස තමන්ට ගමන් කරන්නට නියමිත වූ මාර්ගයේ ගමන් ගත්තේ ය.

හිම මත බඩ බිමට වැදෙන සේ වැතිර නොසෙල් වී කීරා ආර්ගුනෝවා සිටියා ය. ඇයගේ දෑත් ඉදිරියට විසි වී තිබිණ. සුදු සාටකයෙන් එළියට පැන්න ඇයගේ කෙස් රොදක් පමණක් සුළඟට සෙලවිණ. කඳු මතින් ඇවිද නොපෙනී යන කළු හැඩරුව දිහා කීරා බලා සිටියා ය. ඇය දිගු වේලාවක් එතැනට වී සිටියා ය. ඇයට යටින් හිම මත හෙමින් පැතිර යන රතු පැල්ලමක් දිහා බලා සිටියා ය.

පැහැදිලි ව, තියුණු ව, ඇහෙන තරම් වූ සිතුවිල්ලකින් “ඉතින්, ම‍ට වෙඩි වැදිලා. ඉතින් එහෙමයි එහෙනම් වෙඩි උණ්ඩයක් වැදුනම දැනෙන්නෙ. ඒක එච්චර බියජනක නැහැ නේද?”

ඇය හෙමින් දණ ගැසුවා ය. ඇය අත්වැසුමක් ගලවා එය කබාය වාටියේ තම පපුවේ වම් පැත්තේ වූ මුදල් නෝට්ටු රෝල උඩින් අත ගෑවා ය. වෙඩි උණ්ඩය නෝට්ටු රෝල මැදින් පාසා කරගෙන ගියා දැයි ඇය බිය වූවා ය. එහෙත් එසේ නොවීය. කබායේ කුඩා හිල වූයේ ඊට යටින් ය. ඇයගේ ඇඟිලි වලට ඇලෙන හා රස්නයෙන් වූවක් දැනිණ.
එය එතරම් වේදනා සහිත නොවීය. ඇයගේ ඇලයේ වූ තියුණු කුඩා පිළිස්සුමක් මෙන් දැනුනි. ඇයගේ දෙපා වලට දැනුනු වේදනාවට වඩා අඩුවෙන් දැනුණි. ඇය නැඟිටින්නට උත්සාහයක් ගත්තා ය. මඳක් දෙපැත්තට වැනුනා ය. ඒත් ඇයට සිටගන්නට හැකිවිණ. ඇයගේ කබායේ අඳුරු පැල්ලමකි. ලොම් රතු වලට ඇදී රස්නයෙන් ගුලි වී ඇත. වැඩි ලේ ගැල්මක් නැත. බිංදු කිහිපයක් පමණක් ඇයගේ හමේ රූ රා වැටෙන බව ඇයට දැනුණි.

ඇයට ඇවිදින්නට හැකි ය. ඇයට ඒ මත අත තබාගන ගියොත් එයින් ලේ ගැලීම අඩු වනු ඇත. දැන් ඇය ඉන්නේ මායිමෙන් වැඩි දුරක නොවේ. ඒ ඈත, එපිටත, ඇය එයට බැන්ඩේජ් පටියක් දා ගන්නට හැකිය. ඒක එතරම් දරුණු වූවක් ‍නොවේ. ඇයට එය දරා ගත හැකිය. ඇය ඉදිරියට යා යුතු ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Theme: Shocking Blue Green. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.