ඇයට ඉදිරියෙන් නිල් හිම ඈතට විහිදෙමින් පැතිර බොඳ බවකින් අහසට හේත්තු වී තිබිණ.
රැලි මෙන් විහිද යන හිම ඇය ළං වෙද්දී වෙනස් නොවිණ. තියුණු බවින්, දැඩි බවින්, කුඩා කඳු බෑවුම් මතින් අඳුරට දිව යමින් තිබිණ. සුදු ශංකුවන් අහසට උසට දික් ව පැවතියේ අතු අග වූ කළු පැහැයන් සමඟිනි.
එවිට ඇය කළු රුවක් දැක්කා ය. ඒ රුව සෙලවෙන්නකි. ඒ රුව ඇදී එන්නේ කඳු හරහා, ක්ෂිතිජය හරහා, කෙළින් ගැසි ඉරක ය. කතුරු සේ ඇරෙන වැහෙන කකුල් ඇය දැක්කා ය. උරහිසක රැඳි කුඩා කළු කූරක් ඇය දැක්කා ය. වරක් එය අහස පසුබිම් කරගෙන තියුණු විලසකින් දිලිසුණි.
ඇය බඩ බිමට වැදෙන සේ ඇද වැටුනා ය. මඳ අවධානයෙන්, හරියට නිර්වින්දනයක් මැදින් සේ, ඇයගේ කබා අත් යටින් වූ මැණික් කටුව සීතල හිම විසින් හපා කන ලෙසකින් ඇයට දැනුනා ය. බූට් සපත්තු ඇතුලට ද හපා කන ලෙසකින් සීතල හිම පෙරලී වැටිණ.
අනතුරුව ඇය හිස මඳක් උස්සා බඩගාමින් හෙමිහිට ඉදිරියට ඇදුනා ය. ඈත පෙනෙන කළු හැඩරුව දිහා බලාගෙන ඇය නැවතී බිම දිගා වී නොසෙල් වී සිටියා ය. නැවත බඩගෑවා ය. නැවත නැවතුනා ය. නැවත බලාගෙන සිටියා ය. නැවත බඩගෑවා ය.
ඉවාන් ඉවනොව් පුරවැසියා උපන්නේ 1900 වසරේ දී විටෙබ්ස්ක් නගරයේ හරස් වීදියක බිම් මහලක ය. ඔහු පවුලේ නව වැනි දරුවා ය. වයස අවුරුදු හයේ දී ඔහු සපත්තු මහන්නෙක් යටතේ පුහුණු වන්නට ගියේ ය. සපත්තු මහන්නා ඔහුට හම් පටියකින් පහර දී බක්වීට් කැඳ කන්නට දුන්නේ ය. වයස අවුරුදු දහය වෙද්දී ඔහු තමා විසින් හදන පළමු සපත්තු කුට්ටම, තනිවම හදා නිම කළේ ය. ඔහු එය පැළඳ ගෙන හම් කීරි කීරා ගාද්දී වීදිය දිගේ ඇවිද ගියේ ය. ඉවාන් ඉවනොව් පුරවැසියාට සිය ජීවිතය පුරා මතකයේ තිබෙන පළමු දිනය එය විය.
වයස අවුරුදු පහළොවේ දී ඔහු තම අසල්වැසියෙකුගේ දියණියක් හිස් ඉඩමකට ගෙන ගොස් ඇයව දූෂණය කළේ ය. ඇයගේ වයස අවුරුදු දොළහක් විය. ඇයගේ පපුව කොල්ලෙකුගේ මෙන් පැතලි විය. ඇය විනිවිද යන හඬකින් කෙඳිරි ගෑවා ය. කාටවත් නොකියන ලෙස ඔහු ඇයව පොරොන්දු කරවා ගති. ඇයට කොපෙක් පහළොවක් හා සූකිරි රාත්තලක් ඔහු දුන්නේ ය. ඔහු මතකයේ ඇති දෙවැනි දිනය එයයි.
වයස අවුරුදු දහසයේ දී ඔහු විසින් සත්ය ජනරාල්වරයෙකු සඳහා පළමු හමුදා බූට් සපත්තු යුගල නිමැවී ය. ෆ්ලැනල් රෙදි කඩකින් කෙළ ගසමින් ඔහු ඒ යුගල තරයේ ඔප දැමීය. ඒ යුගල ජනරාල්වරයා වෙත රැගෙන ගියේ ඔහු විසින් ම ය. ජනරාල්වරයා ඔහුගේ උරහිසට තට්ටු කර ඔහුට රූබලයක් සන්තෝසමක් වශයෙන් දුන්නේ ය. ඔහු මතකයේ ඇති තෙවැනි දිනය එය විය.
සපත්තු මහන්නාගේ වැඩපොල අසල සතුටින් ගැවසුනු කල්ලියක් සිටිය හ. ඔවුන් හිමිදිරියේ අවදි වෙති. ඔවුන් මහන්සියෙන් වැඩ කරති. ඔවුන්ගේ කමිස දහදියෙන් ඔවුන්ගේ සිරුරු වලට ඇලෙන තෙක් වෙහෙසෙති. ඔවුන් රාත්රියේ විනෝද වූහ. වීදි කොනේ වූ තැබෑරුමකට වැදෙන ඔවුන් එකිනෙකාගේ කරවටා අත් දමා ගෙන සතුටු සිංදු ගැයූහ. වීදි කොනේ තිබි නිවසක වැහැරී ගිය කුඩා මිනිහෙක් පියානෝවක් වාදනය කළේ ය. ඉවාන් වඩාත් ම ප්රිය කළේ රෝස පැහැති කිමෝනාවක් ඇඳ සිටි තරබාරු වූ බ්ලොන්ඩ් පැහැ හිසකෙස් ඇති කාන්තාවකි. ඇය ග්රෙචන් නමින් වූ විදේශිකයෙකි. ඉවාන් ඉවානොව් මතකයේ වූ රාත්රියන් ඒවා විය.
ඔහු රතු හමුදාවේ සේවය කළේ ය. හිස මතින් වෙඩි උණ්ඩ හඹා යද්දී සටන් බිමේ වලවල් පතුලේ වූ සොල්දාදුවෝ තඩි රේස් වලට ඔට්ටු ඇල්ලූහ.
ඔහු තුවාල ලද්දේ ය. ඔහු මැරේවි යයි කියන ලදි. ඔහු බිත්තිය දිහා මොට වූ සිතකින් බලා සිටියේ කුමක් වුවත් ගානක් නැතිව ය.
ඔහු සුවය ලද්දේ ය. ඔහු විසින් අතවර කරන ලද රවුම් කම්මුල් ඇති, රවුම් පියයුරු ඇති මෙහෙකාර කෙල්ලක් හා ඔහු විවාහ විය. ඔවුන්ට දාව උපන් පුතා බ්ලොන්ඩ් හිසකෙස් ඇති හැඩිදැඩි කොල්ලෙකි. ඔවුන් ඔහුව ඉවාන් කියා නම් කළහ. ඉරිදා දිනවල ඔවුන් පල්ලි ගියහ. මිල දී ගන්නට හැකි වූ දිනයන් හි දී ඔහුගේ භාර්යාව බැටළු මස් රෝස් කර ළූණු ඉව්වා ය. තම සාය පෘථුල කකුල් මතින් ඉහළට ඔසවා දණගසා ගෙන ඔවුන්ගේ කාමරයේ සුදු පයින් ලීයෙන් වූ බිම අතුල්ලා පිරිසිදු කළා ය. සෑම මාසයකට ම සැරයක් මහජන නාන ස්ථානයක් වෙත ඇය ඔහුව යැව්වා ය. ඉතින් ඉවාන් ඉවනොව් පුරවැසියා සතුටින් සිටියේ ය.
එවිට ඔහුව මායිම් මුර කරන්නට පිටත් කර යවන ලදි. ඔහුගේ භාර්යාව ගම්බද විසූ ඇයගේ දෙමාපියන් හා ජීවත් වන්නට පුතුණුවන් ද රැගෙන ගියා ය.
ඉවාන් ඉවනොව් පුරවැසියා කිසිදාක කියවන්නට ඉගෙන ගෙන තිබුනේ නැත.
ඉවාන් ඉවනොව් පුරවැසියා සමාජවාදී එක්සත් සෝවියට් ජනරජයේ මායිම් ආරක්ෂා කරන්නේ ය.