හිම ඇයගේ දණහිස තරම් උසට වැටී තිබිණි.
ඇය තැබූ හැම පියවරක් ම ඉදිරියට වැටෙන්නාක් වැනි ය. ඇය සාය ඉහළට ඔසවා ගෙන එය අතේ ගුලි කරගෙන පියවර තැබුවා ය. ඇය වටේ පැතිර තිබුනේ නිල් පාටක් යැයි නොපෙනෙන නිල් පාටකි. පාටක් යැයි කියත නොහැකි පාටකි. එය ඇය දන්නා ලෝකයේ පැවතියක් නොවේ. ඈත එපිටතට ඇදී යන එය පෙනෙන තෙක් මානයේ හැම අත පැතිර තිබුණි. විටෙක ඇයට, තමා ලෝකයේ තනිවම, ඉතා උස් දේහයකින් යුතුව, පැතලි රවුමක ඉතා ඉහළකින් හිටගෙන ඉන්නවා යැයි සිතිණ. තවත් විටෙක ඒ නිල් පැහැති සුද තමාගේ හිසත් වසා හිරකරන්නට එන බිත්තියක් යැයි සිතිණ.
අහස පහතට ළං වී තිබිණි. අළු සහ කළු පැල්ලම් සහ දවල් කාලයේ දී කිසිම ලෙසකින් මතක් කරගත නොහැකි නිල් පාටකින් ද යුතු විය. පාටක් නොවූ, එළියක් ද නොවූ පැල්ලම් විටින් විට වළාකුළු අස්සෙන් බේරී ඇවිත් ගියේ ය. ඇය ඒවා නොදකින්නට හිස පහත් කරගෙන සිටියා ය.
ඉදිරියේ පෙනෙන තෙක් මානයක ලයිට් එළියක් නැත. ඇය හැර දමා ආ ලයිට් නොපෙනී ගොස් ඉතා දිගු කාලයක් බව ආපසු හැරී නොබැලුව ද ඇය දත්තා ය. ඇය අතේ කිසිවක් ගෙන ගියේ නැත. සූට්කේසයත් පරණ ඇඳුම් සියල්ලත් ඇය ගමේ දමා ආවා ය. ඉදිරියේ දී ඇයට කබා වාටියේ මසා ඇති මුදල් රෝල හැරෙන්නට වෙන කිසිත් අවශ්ය නොවෙයි. ඉඳහිටක වරක් ඇය ප්රවේසමින් එය අත ගා බැලුවා ය.
දිගු තරප්පු පේලියක ඇවිද යද්දී ඇතිවන හන්දි රුදාවක් මෙන් ඇයගේ දණහිස් වේදනාවෙන් රිදුම් දෙන්නට පටන් ගති. ඇය වේදනාව දිහා මඳ කුතුහලයකින් බලා සිටියේ පිටස්තරයෙකු මෙනි. රිදුම් දෙන ඉඳිකටු අනිනවා සේ කම්මුල් වලට දැණුනි. ඒවා කසන්නට වුවමනාවක් ද ඇතිවිය. විටින් විට ඇය සුදු අත්වැසුම පිටින් කම්මුල් කැසුවා ය. ඒත් කැසීමට වූ වුවමනාව පහව ගියේ නැත.
ඇයගේ බූට් සපත්තු යටින් හිමේ වැදෙන සර සර හඬ මිසක වෙනත් සද්දයක් ඇයට ඇසුනේ නැත. එයින් එපිට වෙනත් සද්දයක් නොඇසෙන සේ ඉක්මණින් ඇවිදින්නට ඇය යත්න දැරුවා ය. ඇය වටා ඇහෙන බිඳී ගිය හඬ ඡායාවන් කොහේදෝ නොපෙනන තැනකින් මතු වී ඇවිදින් ය.
ඇය ඉහත කාලයක පැය යැයි සැලකූ පැය ගණනාවක් ඇවිද ඇති බව ඇය දත්තා ය. මෙහි පැය නැත. ඇත්තේ අඩි පමණි. කකුලක් ඉහළට උස්සා හිමේ පතුලට රිංගා යාමයි. නිමක් නොපෙනන හිම ය. නැත්නම් ඊට නිමාවක් ඇත් ද? සත්යයෙන් ම එයින් ඵලක් නැත. ඒ ගැන සිතන්නට ඇයට අවශ්‍ය නොවුණි. ඇයට හිතන්නට අවශ්ය වූයේ ඇවිදීම ගැන පමණි. බටහිර දෙසට ඇවිදීම ය. ගැටළුව එයයි. මුලු ප්රශ්න සියල්ලේ ම එකතුව එයයි. ඇයට වෙනත් ප්රශ්න තියේ ද? ඇයට උත්තර දිය යුතු ප්රශ්න තියේ ද? ඒවා තිබුනේ නම් -එහි දී- ඒවාට උත්තර සොයාගනු හැකිවනු ඇත. දැන් හිතන්නට අවශ්ය නැත. දැන් අවශ්ය පැන ගැනීම පමණි. මුහුණ දෙන්න සිතුවිලි ඇත්නම් එහේ දී ඇයට හිතන්නට පුළුවන. දැන් අවශ්ය නික්ම යාම පමණි. නික්ම යාම පමණි.
ඇයගේ සුදු ඇත්වැසුම් අස්සේ ඇඟිලි රිදුම් දුනි. ඇයගේ ඇට මිදුළු කිටි කිටියේ තද කර ඇති සේ ය. ඇයගේ හන්දි අඬුවකින් තද කර ඇති සේ ය. ඇයට සීතල ඇති යැයි ඇය සිතුවා ය. එය ඉතා සීතල රැයක් දැයි ඇය කල්පනා කළේ එතරම් තියුණු වූ සිහිකල්පනාවකින් නොවේ.
ඇය ඉදිරියෙන් නිල් හිම ආලෝකවත් වී ඇත. හිමෙන් වැදෙන එළියෙන් අහස ද ආලෝකවත් වී ඇත. ඇයට ඉදිරියෙන්, හිම හා අහස එක්වන පැල්ලමේ වූයේ මීදුමක් පමණි. ඇයගේ මුහුණ ළඟ ඇති වළාකුළු වලට අතින් ගසත හැකි ද නැත්නම් ඒවා සැතපුම් ගණනාවක් ඈතක දැයි ඇයට නිච්චියක් නොවිණ.
ඇය දමා ආ කිසිවක් නැත. ඇය පිටත් වී යන්නේ ශුන්ය්යකිනි. මහ පොළවේ ඇති සුදු හා සත්ය නොවන වැනි වූ ශුන්යයකින් ඇය නික්ම යන්නී ය. ඇයට වෑයම අත්හැර දමන්නට නොහැකි ය. කකුල් දෙකට තවත් සෙලවෙන්නට නොහැකි වූ කල, ඇයට කොහේදෝ තැනක යමක් නැති වූ බව දැනුන විටක, ඇය කකුල් දෙකට ඇවිදින්න යැයි කීවා ය. ඇයට වෑයම අත්හැර දමන්නට නොහැකි ය. ඇය ජීවතුන් අතර සිටින්නී ය. ජීවත් නොවන පොළවක් ඇති කාන්තාරයක ඇය තනි වී ජීවතුන් අතර සිටින්නී ය. ඇය ඇවිද යා යුතු ය. ඇය ජීවත්වන නිසා ඇවිද යා යුතු ය. ඇය නික්ම යා යුතු ය.
සුළඟට අසු වූ හිම කැරලි ගසමින් ඉහළට ඇදී ගියේ ය. ඈත එපිටක පහළට වැටී තිබුණ අහස අල්ලමින් ඒ හිම කැරලි හමා ගියේ ය. තියුණු කළු තීරු අහසේ ඇය දැක්කා ය. දීප්තිමත් දුහුවිලි තිත් නිවි නිවී ඒ වළාකුළු අතරින් පත්තු වී යන හැටි ඇය දැක්කා ය. ඇය තවත් ගුලි වී ඇවිද්දා ය. දෙවුර හකුලා ගෙන ඇවිද්දා ය. ඇයට වෙන කාටවත් පෙනෙන්නට අවශ්ය නොවිණ.
ඇයගේ ඉන අසලින් වේදනාවක් දැනුණි. හැම පියවරක් ම ඇයගේ කොඳු ඇට පෙළ ගස්සනවා වැනි සේ දැනුණි. කුමක් දෝ රිදුම් දුනි. එය පිට දිගේ ඉහළට ඇදී ගියේ ය. ඇය ඇඟිලි වලින් කබායේ වූ රෝල අත ගෑවා ය. එය බලාගත යුතු ය. එය නැතිකර ගත නොහැකි ය. එයත් කකුල් දෙකත් බලාගත යුතු ය. ඉතිරියෙන් ඵලක් නැත.
ගසක් දුටු විට ඇය නතර වූවා ය. හදිසියේ ම හිම මතින් එළියට පැන, ඉහළට ඇදී ගිය සුදු පිරමීඩයක් වැනි වූ දැවැන්ත ෆිර් ගසකි. ඇය කටින් වායුව පිට නොකර, දණහිස් නවා ගෙන, සතෙක් සේ නැවී, ඇහුම් කන් දෙමින් එතැන ම සිටියා ය. ඇයට කිසිත් ඇසුනේ නැත. ඒ පහළට එල්ලී තිබි අතු අතර කිසිවක් සෙලවුනේ නැත. ඇය ඉදිරියට ඇවිද්දා ය. කොපමණ කාලයක් එතැන නැවතී සිටියා දැයි ඇයට නිච්චියක් නොවීය.
ඉදිරියට ගමන් කරනවා ද යන්න ගැන ඇයට නිච්චි නොවීය. සමහර විට ඇය එකතැනම කකුල් ඉහළට ගෙන පහළට දානවා ඇති. වටපිටාවේ හිමෙන් පිරුණ පෙනෙන තෙක් මානයක වෙනත් කිසිවක් නැත. එය කවදා හෝ වෙනස් වෙයි ද? ඇය හරියට සුදු, රළු, බබලනා වූ, කාන්තිමත් මේසයක් මත ඇවිද යන කූඹියෙක් වැනි ය. ඇය දෑත් දෙපැත්තට විහිදා දැමුවා ය. හදිසියේ ම ඇය අවට ඇති අවකාශය ගැන දැනුනා සේ ය. ඇය අහස දිහා බැලුවා ය. ඇයගේ හිස හා උරහිස් පිටුපස්සට කඩා වැටුණි. අර ඉහළ පෙනෙන නිවි නිවී පත්තු වන තිත්, ඒවා නිමක් නැති ලෝක යැයි මිනිස්සු කියති. ලෝකයේ ඇයට ඉඩක් නැද්ද? ඒ මහත් විශ්වයේ ඇයගේ කකුල් රැඳි ඒ කුඩා ඉඩ කඩින් ඇයව වෙනතකට ඇද දාන්නේ කවුරුන් ද? ඇයි ඒ අය එසේ කරන්නේ? ඇය නික්ම යා යුතු ය.
ඒ කකුල් තව දුරටත් ඇයගේ නොවීය. ඒවා රෝද මෙන් පෙරලුනි. ලීවර මෙන් පෙරලුනි. ඉහළට යමින්, නැවෙමින්, පහළට වැටෙමින්, උඩ හා පහළ යමින්, පහළට වැටෙද්දී ඔළු කට්ට දක්වා දිව යන දෙදරීමකින් පෙරලුනි.
හදිසියේ ම තව දුරටත්, විඩාවක් නැති බවත්, වේදනාවක් නැති බවත් ඇයට දැනුණි. තමා නිදහස් හා සැහැල්ලු යැයි ඇයට දැනුණි. ඇය සනීපයෙන් සිටින්නී ය. ඉතා සනීපයෙන් සිටින්නී ය. ඇයට මේ ආකාරයෙන් ඉදිරි වසර ගණනාවක් පුරා ඇවිද යන්නට හැකි ය. එවිට, හදිසියේ ම විදුලි වේගයකින් වේදනාවක් උරහිස් වලින් පැතිර ගියේ ය. ඇය වැනුනා ය. නොසෙල්වෙන කකුලක් ඉහළට යද්දී පැය ගණනාවක් ගෙවී ගියා සේ ඇයට දැනුණි. ඇය නැවතත් ඇවිද්දා ය. ඇය දෑත් නවා කුස උඩින් ගුලි කරගෙන, කුඩා බෝලයක් සේ ගුලි වී ඇවිද්දා ය. එවිට ඇයගේ කකුල් වලට දරන්නට වන බර අඩු යැයි ඇය සිතුවා ය.
කොහේ දෝ තැනක මායිමක් ඇත. එය තරණය කළ යුතු ය. ජර්මන් චිත්රපටියක, හදිසියේ මතු වී නොපෙනී ගිය, අවන්හලක් ඇයගේ සිහියට නැඟුණි. එහි දොරක් උඩින් සංඥා පුවරුවක් විය. සිහින් අකුරු වලින්, විච්චූර්ණ නොමැතිව, රිදී පැහැයෙන් පාට ගාන ලද, එහි චාම් බවෙන් අවඥා කරන මෙන් වූ, අඳුරු සුදු වීදුරුවක -ඩිගි-ඩැගි කැෆේ- යැයි ලියා තිබුණ බව ඇයට මතක් වුණි. ඇය හැර දා යන රටේ එවැනි සංඥා පුවරු නැත. නැටුම් කාමරයක් වැනි වූ පදිකවේදිකා නැත. ඇය මැතිරුවා ය, හඬ ඇහෙන්නේ නැතිව මැතිරුවා ය, වාසනාව උදා කරන මන්ත්රයක් සේ, යාඥාවක් සේ මැතිරුවා ය: “ඩිගි-ඩැගි කැෆේ … කැ ..ෆේ .. ඩිග් … ගි .. ඩැග් … ගි …” ඇය කියන අක්ෂර සමඟ පා තබන්නට ඇය උත්සාහ කළා ය.
කකුල් වලට ඇවිදින්න යැයි තව දුරටත් කියන්නට ඇයට අවශ්ය වූයේ නැත. ඇය හිතුවේ තම කකුල් දුවනවා කියා ය. යම් සහජ ආශයක් ඇයව මෙහෙයවයි. සත්වයෙකුට මෙන් වූ සහජ ආශයක්. ස්ව-ආරක්ෂාව වෙනුවෙන් යම් සටනකට අන්ධ ලෙසින් ඇයව කසයෙන් තලා දුවවයි.
ඇයගේ මිදුණ තොල් අස්සෙන් ඇය රහසින් කෙඳුරුවා ය: “ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා, ඔයා හොඳ සොල්දාදුවෙක් …”
*
me russian kathawe original nama mokakda?
Comment විසින් kasun — ජනවාරි 2, 2012 @ 2:48 පෙ.ව.
kasun,
We The Living by Ayn Rand (1936)
http://sinhalastory.wordpress.com/පටු/අපි-ජීවත්වන්නෝය/
අයින් රෑන්ඩ් රචනා තරඟය ගැන තොරතුරු මෙතැන: sinhalastory.wordpress.com/2011/09/01/අයින්-රෑන්ඩ්-රචනා-තරඟ-ඩොල/
Comment විසින් sinhalashortstories — ජනවාරි 2, 2012 @ 8:42 පෙ.ව.