“එංගලන්තෙ කවෙන්ට් ගාඩන්, ඒ කියන්නෙ රෝයල් ඔපෙරා හවුස් ගැන ..”
“ඒ ගැන පොත් ගොඩක ලියැවිලා තියෙනවා. ඒක ගැනම ලියපු පොත් තියෙනවා.”
“නැහැ, තැන ගැන නෙමෙයි. ඒකෙ ඇතුලේ වෙච්ච කතාන්දරයක්.”
මිස් සුරම්‍යා ඇයගේ වදන් වලට උවමනාවෙන් සවන් දෙන්නේ නැවතත් තොලේ කොණක් හපමින්.
“රතු කොණ්ඩයක් තියෙන ලස්සනම ලස්සන ලේඩි කෙනෙක් ඇතුල් වෙනවා ඒ රඟහලේ ඔපෙරා දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී. පිට රටකින් ගෙනාපු එකක් .. මට ඒකෙ නම මතක නැහැ හැබැයි හැමෝම ඒක බලන්න ආසාවෙන් හිටියෙ…”
“එහෙම ලියන්නෙ කර්තෘවරයා ලියන විදියට ද නැත්නම් වෙන කාගේ හරි චරිතයකින් කියන විදියට ද?”
“මම …” ලීලා හුස්මක් ගෙන වටපිට බැලුවාය.
“මට ඒ හරිය මතක නෑ. ඒ රතු කොණ්ඩෙ තියන ලේඩිගේ නමත් .. කියෙව්වා … ඒ වුනාට දැන් මතක නෑ,” ලීලා කීවේ මිස් සුරම්‍යා ගේ ඇස් හමු නොවී.
“මම හිතන්නෙ ඔත්තු බලන එකක් වගේ දෙයක් ගැන මොනා හරි කතාබහක් තිබ්බා. කවුද කෙනෙක් ‘ලා මිනිහෝ,’ කියලා …” ලීලාට වාක්‍යය අවසන් කරන්නට ඉඩක් නොදී මිස් සුරම්‍යා ලීලාගේ අතින් ඇදගෙන පොත් රාක්කයක් වෙතට ගියාය. ඇය පොත් කිහිපයක් අතගා පොතක් තෝරාගත්තේ රටක් රාජ්‍යයක් ජයගත්තියක් ලෙසිනි.
“මේ තියෙන්නෙ ස්කාලට් පිම්පර්නල්, මේකෙ ඉන්නවා රතු කොණ්ඩයක් තියෙන මාගරීට් කියලා රූමත් කාන්තාවක්.”
ලීලා පොතේ පිටු පෙරලීය. මිස් සුරම්‍යා ලීලා ලෙසින්ම නොඉවසිල්ලෙන් බලා සිටින්නීය.
“මිස් සුරම්‍යා කියවලා තියෙනවා ද මේ පොත?”
“ඉංග්‍රීසි පොත ගොඩක් ඉස්සර කාලෙක දී කියෙව්වා. මේ සිංහල පරිවර්තනය කියෙව්වෙ නම් නැහැ.”
“පොතේ කොයි හරියේ ද රඟහල ගැන තියෙන්නෙ? අර ලේඩි ඇතුල්වෙන තැන?” ලීලා මිස් සුරම්‍යා අතේ පොත තැබුවේ සීතලෙන් වෙව්ලා ගිය දෑත් වලින්.
මිස් සුරම්‍යා පොතේ පිටු අතරින් පතර කියවමින් තැන සොයන්නට උත්සාහයක යෙදෙන්නීය.
“ඔර්ෆියස් ..” මහ හඬින් පටන් ගත්ත ද, “ඒ ඔපෙරාව ජර්මනියෙන් … නම ඔර්ෆියස්,” යැයි හෙමින් කියූ ලීලාගේ කටහඬ ද වෙව්ලීය.
මිස් සුරම්‍යා ගේ දෑස් හිර වී තිබුනේ පොතේ අකුරු පේලි අස්සේ. පුස්තකාලයේ අනෙකුත් අය ද තම තමන්ගේ කටයුතු වල යෙදුනා මිසෙක ඔවුන් දෙදෙනාව ගණනකට නොගත්හ.
“මේ තියෙන්න මුල හරියේ ම තමයි .. ඔව් ඔර්ෆියස් තමයි නම. මතක නෑ කිව්වට ලීලාට හොඳ මතකයක් ..” මිස් සුරම්‍යාට එවර වාක්‍ය අවසන් කරන්නට ඉඩක් නොලැබිණ. ලීලා දෙපැත්තට වැනෙමින් ක්ලාන්ත වී බිමට ඇද වැටෙන්නට යද්දී මිස් සුරම්‍යා ඇයව වත්තන් කරගත්තේ බොහොම අමාරුවෙන්. අහල පහල සිටි කාන්තාවන් දෙතුන් දෙනෙක් ඔවුන් අසලට ඇදී ආහ.
“මොකද වුනේ?”
“මිස් අල්ලගත්ත නිසා හොඳයි තව පොඩ්ඩෙන් දඩාං ගාලා වැටෙනවා මෙයාව බිමට.”
“තනියෙන් ගෑණු ළමයි එහෙ මෙහෙ යවන්න නරකයි. ඔන්න බලන්න ඔය වගේ වෙලාවට මොකද කරන්නෙ?”
“එහෙම කලන්තෙ දානවැයි අනේ ගෑණු ළමයෙක් වුන පළියට. ඔයා මේ මොනා කියෝනවාද මන්ද මේ වෙලාවෙ.”
“ඔය ළමයා එක්ක ආව වැඩකරන එක්කෙනා අර එළියෙ ඉන්නවා,” එතැනට පැමිණි මිස් ප්‍රියදර්ශනී දැනුම් දුන්නේ හරියට “වෙන්න කළින් මෙයා හරි කරදරයක් කරන බව මම දැන හිටියා,” යැයි කියන්නා සේ ය.
“එයාට එන්න කියන්න.”
“එළවළු මලු ගොඩත් උස්සන්?”
“සර්ගෙන් අහන්න,” යැයි කියමින් මිස් සුරම්‍යා අවට වෙන කෙනෙකුට කියන්නට බලද්දී හීන්දෑරි වයසක මහත්තයා පුස්තකාලයෙන් එළියට ගමන් කරන බව දැක්කාය.
මෙහෙකාරිය බඩු මලුත් රැගෙන ඇතුලට දිවගෙන ආවේ ලීලාට සිහිය එනවාත් සමඟයි.
“මොකෝ බේබි, මේ මක්කැයි වුනේ?” බඩු මලු බිම තබමින් මෙහෙකාරිය ඇය අසලින් දණගසා ගති.
ලීලා තමන් වෙත යොමු වී ඇති මුහුණු දෙස බලා සිටියේ කුමක් වූයේ දැයි සිතාගන්නට නොහැකිව. ඇය මීට පෙර කිසිම දිනයෙක ක්ලාන්ත වී ඇද වැටී නැත.
“බේබිගේ තාත්තත් අසනීපෙන් ඉන්නෙ, අනේ බේබිත් අසනීප වෙන්න එපා,” කියමින් මෙහෙකාරිය හඬන්නට පටන් ගත්තාය.
ලීලා දඩිබිඩියේ නැඟිටින්නට හදද්දී මිස් සුරම්‍යා ඇයට කලබල වෙන්නට ඉඩ නොදී පුටුවක් වෙතට වත්තන් කරගෙන ගියේ අවට රැස් වූ අය ක්ලාන්තයට ඒ ඒ අය කැමති හේතු දක්වමින් විසිර යද්දීය.
“මේ ළමයගෙ ගෙදෙට්ට පණිවිඩයක් යවන්න ද?” සර් එතැනට පැමිණියේ අනිත් අය වෙනතක ගියාට පසුව.
“මට දැන් හරි. අව්වෙ ඇවිදලා ඇවිදලා ආවේ. ඒ නිසා වෙන්නැති,” ලීලා යාන්තමින් සිනාවක් පෑවේ ලැජ්ජාවෙනි.
මිස් සුරම්‍යා සහ සර් කිසිත් නොකීහ.
“මට පුස්තකාලේ සාමාජිකත්වය ගන්න ඕනි,” ලීලා කිව්වේ පොතත් රැගෙන එතැනින් ඉක්මණින් පිටත් වී යන අදහසිනි.
“ඔය ළමයා දැන් මෙයා එක්ක ගෙදර යන්න. වෙන දවසක ජාතික හැඳුනුම්පත එහෙම අරගෙන ඇවිත් සාමාජිකත්වය ගන්න පුලුවන්.” සර් ඉතා කාරුණික ලෙසින් කීය.
“අපි ගෙදර යමු බේබි, දැන් නෝනා හොඳටම බයවෙලත් ඇති,” මෙහෙකාරිය බඩු මලු එකතු කරගත්තේ ඇයගේ ඇස් වලින් තවමත් ගලනා කඳුළු පිසදාන්නේ නැතිවම.
ලීලා පුටුවෙන් නැඟිට්ටාය. බඩු මල්ලක් උස්සන්නට ගියත් මෙහෙකාරිය ඇයට ඉඩ දුන්නේ නැත. මිස් සුරම්‍යා ඔවුන් දෙස බලා සිටියේ නැවතත් තොලේ කොණක් හපමින්. චීත්තය බැහැරකට සුදුසු වුවත්, සායම් දිය වී නූල් කැඩී ඇති හැට්ටයක් හැඳ සිටිනා මෙහෙකාරිය නිරීක්ෂණය කළ මිස් සුරම්‍යාට මෙහෙකාරිය ගැනත් ලීලා ගැනත් අනුකම්පා සිතක් පහළ විය. බේබිත් මෙහෙකාරියත් දෙදෙනා නිහඬව බෙදාගන්නා කුමක් හෝ බරපතල තත්වයක් ඇති බව මිස් සුරම්‍යාට වැටහිණ.
“ඔය පොත දෙන්න එපා කාටවත්, මම ආපහු ඉක්මණට එනවා,” දොර වෙතට ගමන් කර ආපසු හැරී ආ ලීලා කියද්දී මිස් සුරම්‍යා ඊට හිස වනමින් පොරොන්දු වූයේ ඔවුන් ඉන්නා දොම්නස් තත්වය කුමක් වුවත් ඊට හවුල්කාරයෙක් වෙන්නට කැමැත්ත ප්‍රකාශ කරන්නට මෙනි.